Thursday, June 25, 2009

සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකය


අපේ බෝඩිමේ ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංහල කී බෝඩ් එක හුරු නැතිකම. මේ අර්බුදයට විසඳුමක් දෙන්න කියල මාත් ලිව්ව පොඩි සොෆ්ට්වෙයා එකක්. නම සිංග්‍රීසි. නමෙන් කියවෙන විදියටම සිංග්‍රීසියෙන් ටයිප් කළාම සිංහලෙන් (යුනිකෝඩ්) වදිනව. උදාහරණයක් විදියට තමීරගෙ තීරය කියල ටයිප් කරන්න ඕන නම් thameerage theeraya කියල ගැහුවම හරි. යුනිකෝඩ් එසැනින් පරිවර්තකය වගේ. හැබැයි ඒකෙ නැති විශේෂාංග කීපයක් එකතු කරන්න උත්සාහ කරා. උදාහරණයක් විදියට අතරමගදි ඉංග්‍රීසියෙන් කොටන්න ඕන වුණොත් ඒක කරන්න පුළුවන් (රූපයේ ආකාරයට). ඒක සඳුන්ගෙ අදහසක්.

මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ (බීටා සංස්කරණය :-) ). මෙන්න බාගන්න ලින්ක් එක:
[සබැඳුම ඉවත් කරන ලදී. නව සංස්කරණය බාගැනීමට මෙතනට යන්න.]

හොඳද බලල වැරැද්දක් එහෙම අහුවුණොත් කියන්න අමතක කරන්න එපා. ඊමේල් ලිපිනය ඒකෙ තියෙනවා. මේක Visual C# 2008 වලින් ලිව්වෙ. ඒ හින්ද වැඩ කරන්න .Net Framework 3.5 ඕන වේවි.

ප.ලි. මෙම පෝස්ට් එක ලිවීමෙන් දින කිහිපයකට පසු මෙම ලිපියට ලැබුණු ප්‍රතිචාර අනුව සිංග්‍රීසි 1.2 නමින් මෙය වැඩිදියුණු කළෙමි. උපකාරක ගොනුවක් ද අමුණා ඇත. දැන් ඉහත සබැඳිය මගින් එය බාගත හැකිය. ප්‍රතිචාරවලට ස්තුතියි!

Wednesday, June 17, 2009

තමීර හාවාට ඇබ්බැහි වෙයි

මුලින් ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකුයි කියනවනෙ. ඔන්න මටත් දැන් මෙච්චර කල් හම ගහපු වින්ඩෝස් වලට වඩා අළුතෙන් ආපු උබුන්ටු හැඩකාර හාවා ලොකු වෙලා. තිබුණු පාටිෂන් එකක් සම්පූර්ණයෙන් මකල හාවව දැම්මෙ ඔන්න ටික දවසකට විතරයි ඊට පස්සෙ යන්න ඕන කියල. දැන්නම් තියාගන්නමයි හිත.

සති දෙකකට කලින් අපේ බෝඩිමේ ළහිරුගෙ සීඩී එක ඉල්ලගෙන හාවා දාගත්තෙ. ඊට පස්සෙ එකම එක සැරයක්වත් වින්ඩෝස් පාවිච්චි කරන්න වුවමනා වුණේ නැහැ. කොඩෙක් පැක් ටිකයි ඕන කරන තව සොෆ්ට්වෙයා ටිකකුයි දාගත්තම වැඩේ ගොඩ. ඇබ්බැහි වෙන සුළු ගේම් ටිකකුත් හොයා ගත්තා.


උබුන්ටු 8.04 එක්ක තිබිච්ච ලොකුම අවුල තමයි E220 වෑර්ලස් එක අරගන්න ලොකු ගේම්ක් දෙන්න වුණු එක. දැන් නම් එක ක්ලික් එකයි වැඩේට යන්නෙ. විස්ටා එක්ක වැඩ කරනකොට පැයකට සැරයක් වත් මැෂිම crash වෙනවා. හාවගෙ නම් එහෙම ප්‍රශ්නයක් තාම ආවෙ නැහැ. වෙනද නිකන් තියෙන කොටත් මෙමරියෙ 900MB විතර පිරිලා දැන් නම් ඒකෙන් තුනෙන් එකක්වත් යන්නෙ නැහැ. ඔන්න කතාවෙන් කතාව හාව ගැන ඇඩ් එකක් වීගෙන එන්නෙ.

කොහොම හරි දැන් ඉතින් ෆුල් ටයිම් ලිනක්ස් වගේ තමයි. හැබැයි විස්ටා අයින් කරන්නෙ නම් නැහැ. මොකද විෂුවල් ස්ටුඩියෝ පාවිච්චිකරන්න හාවට තහනම්නෙ. C# වලින් වැඩ කරන්න කියල Monodevelop දාගත්තත් ඒක වින්ඩෝස් වලදි වගේ ලේසි නැහැ. අනිත් එක පෙරේද දසුන්ගෙන් (පැංචා;-)) හම්බ වුණු Command & Conquer Generals ඉන්ස්ටල් කරගන්නත් ඕන. :-) මේවට Virtual Box එකේ performance මදි.

මට දැන් තියෙන ප්‍රශ්නෙ මේකයි. විස්ටා බූට් වෙන්න වරුවක් විතර යනවා. ඒ හින්ද විස්ට පාවිච්චි කරනව නම් හැම වෙලේම Shut Down කර කර ඉන්න බැහැ. Hibernate තමයි එකම විසඳුම. ඒත් එහෙම කළාම හාවට බැහැනෙ වින්ඩෝස් පාටිෂන් විවෘත කරන්න. දැන් ඕන වෙලා තියෙන්නෙ දෙන්නටම හරියන ෆයිල් සිස්ටම් එකක් හදාගන්න. මේ කියවන කවුරුහරි ඒක කරන හැටි දන්නවනම් කියල දුන්නොත් ලොකු පිනක්!

Monday, June 15, 2009

උබුන්ටු වලින් ඩොස් ගේම්!

ඊයෙ උබුන්ටු 9.04 සීඩී එකක් හම්බ වෙලා ඉන්ස්ටල් කරගත්තා. 8.04 එක්ක බැලුවම ලොකු වෙනසක් තියෙනවා. දැන් E220 වෑර්ලස් එක වැඩ කරන්න කලින් වගේ ගේමක් දෙන්න ඕන නැහැ. (8.10වලත් මේ පහසුකම තිබුණා කියලා ඇහුවා) දැන් නම් මාර ම ලේසියි.

ඉස්සර කාලෙ (වින්ඩෝස් 95 වගේ කාලෙ) ඩොස් ගේම් ගැහුව මතකද? Super Mario, Dave, Prince of Persia එහෙම. ඒ කාලෙ තිබුණ හොඳම ගේම් තමයි ඒව. ඒත් දැන් කවුරුවත් ඒව ගහන්නෙ නෑ. ඒකට එක හේතුවක් අළුතෙන් එන මෙහෙයුම් පද්ධති ඒවට සපෝට් නොකිරීම. අනිත් එක මෙච්චර හැඩ වැඩ ගේම් ඇවිල්ල තියෙන කොට අර කාටූන් වගේ ගේම් ගහන්නෙ කවුද?

හැබැයි සමහරු දන්නෙ නැතුව ඇති මේ පරණ ඩොස් ගේම් උබුන්ටු වලිනුත් ගහන්න පුළුවන් කියලා. උබුන්ටුවල කොහොමද .exe ෆයිල් වැඩ කරන්නේ? මේකට කරන්න තියෙන්නේ DosBox Emulator ඩවුන්ලෝඩ් කරගන්න එක. මෙන්න ලින්ක් එක. මේක හොයාගත්තෙ GetDeb.net සයිට් එකෙන්. මීට අමතරව ඩොස් ගේම් එකකුත් ඕන :-)

DosBox ඉන්ස්ටල් කරගත්තම ඒක Games මෙනුවට එනවා. ඒක විවෘත කළාම එන්නෙ කොන්සෝල් එකක්. දැන් අපේ ගේම්ස් තියෙන ෆෝල්ඩර් එක මවුන්ට් කර ගන්න ඕන. උදාහරණයක් විදියට ගේම්ස් තියෙන්නෙ home/(username)/games ඩිරෙක්ටරියෙ නම් මේ විදියට කමාන්ඩ් එක දෙන්න.

mount c ~/games



දැන් C: කියලා virtual drive එකක් හැදෙනවා. දැන් ඩොස් ක්‍රමේට C: මගින් drive ඇතුළට ගිහිල්ලා cd කමාන්ඩ් එකෙන් ගේම් එක තියෙන ඩිරෙක්ටරියට යන්න. ඊට පස්සෙ ගේම් එකේ නම ගහලා එන්ටර් කරන්න. (උදා dave.exe)

C:\> cd dave
C:\> dave



දැන් ඉතින් ගේම් එක ගහල ලොස් වෙන්න තමයි තියෙන්නෙ. මේව ගහනකොට පරණ කාලෙ මතක් වෙනවා. දැන් කාලෙ ගේම් හැටියට මේව මොනවද, නේද? ඒත් මේවයෙ අමුතු ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා.

මේ ඩොස් ගේම් බාගන්න ඕන නම් ගූගල් සර්ච් එකක් දාන්න. ඕන තරම් හොයා ගන්න පුළුවන්.
කාටත් ලේසි වෙන්න කියල ඔන්න මං ගාව තිබුණ ගේම් කීපයක් MediaFire එකට අප්ලෝඩ් කළා.
Dangerous Dave
Prince of Persia
Xatax

Friday, June 12, 2009

අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩය 2009


මේ අවුරුද්දෙ 50 වැනි අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩය (International Mathematical Olympiad - IMO) ජර්මනියෙ බ්‍රේමන් (Bremen) වලදි පැවැත්වෙනවා. ගණිත ඔලිම්පියාඩය කියන්නෙ ක්‍රීඩාවලට ඔලිම්පික් වගේ ගණිතයට තියෙන විශාලතම අන්තර්ජාතික තරගය. චෙස් ඔලිම්පියාඩ් ගැන එහෙමත් අහල ඇතිනෙ. ලංකාවත් මේකට 1995 ඉඳල සහභාගි වෙනව. ලෝකඩ පදක්කම් කීපයක් වගේම විශේෂ කුසලතා සහතික ගණනාවකුත් අපිට ලැබුණා පහුගිය අවුරුදු කීපයෙදි. විදුසරේ යන ඔලිම්පියාඩ් ලිපි පෙළ කියෙව්වනම් මේ ගැන දන්නව ඇති.

මෙදා සැරේ ඔලිම්පියාඩ් එක‍ට ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරගන්න පහුගිය මාස කීපෙම විවිධ තරග සහ වැඩමුළු තිබුණා. මේකට හැමදාම වගේ මූලික වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශය. මේ අවුරුද්දෙ මොරටුව විශ්වවිද්‍යාලෙ ගණිත සංගමෙනුත් ලොකු සහයෝගයක් ලබා දුන්නා. මෙන්න ලංකාව නියෝජනය කරන්න තේරුණු කණ්ඩායම:

1. L. ලගානුජන්, හයිලන්ඩ්ස් මධ්‍ය මහා විද්‍යාලය, හැටන්
2. G.R.B.R. ගම්ලත්, රාජකීය විද්‍යාලය, කොළඹ
3. M.D.Y. ප්‍රනාන්දු, ආනන්ද විද්‍යාලය, කොළඹ
4. S. ක්‍රිෂාන්තන්, ශාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර
5. W.A.D.T.K. වර්ණකුල, ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව
6. M.Y.S. ෆොන්සේකා, තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ

තරගය පැවැත්වෙන්නෙ ජූලි 13 ඉඳල 22 වෙනකන්. මේ දවස්වල දිගටම කණ්ඩායමට පුහුණු සැසි. තරගෙ ප්‍රතිඵල එහෙම ඉවරවුණාම කියන්නම්. මෙදා සැරේ අපිට මෙඩල් කීපයක් ෂුවර්!

Thursday, June 4, 2009

ක්‍රෝම් වලටත් add-ons

ක්‍රෝම් මීළඟ සංස්කරණය add-ons ස්ථාපනය කරන්නත් පුළුවන් වෙන විදියටයි එන්නෙ. හැබැයි ක්‍රෝම්වල Dev build එක නම් පාවිච්චි කරන්නෙ මේ ඇඩෝන්ස් පාවිච්චි කරල බලන්න විතරක් නෙවෙයි, අපිටම පොඩි පොඩි ඇඩෝන්ස් හදාගන්නත් පුළුවන්. ක්‍රෝම් වෙබ් අඩවියෙ තියෙනවා ඇඩෝන්ස් හදාගන්න අවශ්‍ය මූලික කරුණු ටිකක්. මාත් නිකමට කියලා පොඩි ඩික්ෂනරි ඇඩෝන් එකක් හැදුවා. මේකෙදි වෙන්නෙත් අර dictionary bookmarklet එකේ වෙන දේමයි.


ඔය රූපෙ පහළින් තියෙන්නෙ ඒක තමයි. බොහොම පොඩි දෙයක් කරන්න‍ තියෙන්නෙ. මෙන්න source code එක. (මගෙ javascript නම් අන්තිමයි. බොහොම අමාරුවෙන් ගැටගහල ලියාගත්තෙ)


<html>
<head>
<script type="text/javascript">
function func(){

a=document.myform.theword.value;
s="http://dictionary.reference.com/search?r=1&q="+a;
window.open(s)
}
</script>
</head>
<body>
<form name="myform">
<div class="toolstrip-button">
<span>Dictionary</span>
<input type="text" name="theword" />
<input type="button" value="LookUp" onclick="func()" />
<br />

</div>
</form>
</body>
</html>


මේ ෆයිල් එකට අමතරව .json ෆයිල් එකකුත් හදාගන්න ඕන මේක වැඩකරන්න. දැනට තියෙන සංස්කරණයෙ නම් ඇඩෝන් එක හදල ක්‍රෝම්වලට දාගන්නත් පොඩි ගේමක් දෙන්න ඕන. ඕන කරන ‍ඔක්කොම විස්තර මෙතන තියෙනවා.
මෙන්න සාම්පල් ඇඩෝන්ස් කීපයක්.

ලිනක්ස් වාදීන්ට නම් ක්‍රෝම් ලිනක්ස් සංස්කරණය එනකම් කල් බල බල ඉන්න වෙයි :-)

Monday, June 1, 2009

බිං ඇවිත්


ඔන්න බිං ඇවිත්......
ඉස්සෙල්ල MSN , ඊට පස්සෙ Live , දැන් Bing
අද තමයි සයිට් එක විවෘත කළේ. දැන් live.com ගියත් බිං ට තමයි රීඩිරෙක්ට් වෙන්නෙ.
Search history වගේ අළුත් වැඩ කෑලි කීපයක් තියෙනවා. ගූගල් අල්ලන්න නම් දැන්ම හිතන්න අමාරුවෙයි.