Saturday, August 22, 2009

ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි

අපි පොඩි කාලෙ පඳුරකට ගැහුවම පහ හයක් එළියට විසිවෙන තරම් ටීවී චැනල් තිබුණෙ නැහැ. දෙකයි තුනයි තිබුණෙ. ඒ තිබුණ ඒවයිනුත් අපි නිතරම බැලුවෙ ජාතික රූපවාහිනිය තමයි. මතක විදියට ඒ කාලෙ බලන්න නුසුදුසුයි කියල කිසිම වැඩසටහනක් තිබුණෙ නැති තරම්. ඒත් තිබුණු සුළු වැඩසටහන් ගොන්නෙනුත් වැඩිපුරම හිත ගිහිල්ල තිබුණෙ ඔෂින්, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වගේ වැඩසටහන්වලට. මේ ඔක්කොම අපේ ටයිටස් තොටවත්තයන්ගෙ නෙව. ඔය කාලෙම තමයි විශේෂ අධ්‍යාපන සේවය කියල එකකුත් රූපවාහිනියෙ පටන් ගත්තෙ. මේකෙත් ගොඩක් බලන්න වටින වැඩසටහන් ප්‍රචාරණය වුණා. ගී හත, මනෝහාරි වගේ සංගීත වැඩසටහනුත් නොවැරදීම බලනවා. ඇයි අපේ හේම නලීන්ගෙ නමයයි පහ?

මේ දවස්වල ගියපු වැඩසටහන් ගැන නොකියම බැරි දෙයක් තමයි ඒවයින් ජීවිතේට ගන්න පුළුවන් ගොඩක් දේවල් තිබුණය කියන එක. අපි දැන් කරන කියන දේවලුත් සමහර විට ඒවයින් ආභාෂය ලබන්න ඇති. ඒත් දැන් ටීවී චැනල්වල යන දේවල් දකින ළමයි හැදෙන විදිය හිතාගන්න බෑ. ජාතික රූපවාහිනියෙ වුණත් එදා වගේ සංයමයක් ඇතුව ප්‍රවේසමෙන් වචන හසුරවපු නිවේදකයො අද අඩුයි.

මේ කාලෙ රූපවාහිනියෙ ගියපු සින්දුවක් මට අද ‍වගේ මතකයි. මොනවද මුත්තේ මොකද කරන්නේ ඇහෙන කොටම ටීවී එක ළඟට දුවන් එනව. මේක කියවන ගොඩක් අයටත් හොඳට මතක ඇති. ඒ කාලෙ ඔය සින්දුවෙ බරක් පතලක් නො‍තේරුණාට හොඳට හිතේ තැන්පත්වෙල තිබුණා. සීය කෙනෙකුත් පොඩි ළමයෙකුත් අතරෙ ඇතිවෙන කතාබහක් තමයි මේකෙ යන්නෙ.

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ‍ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරන්නෙමි

දුක සේ සිටුවා අඹ ඇ‍ටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොමතේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුවොත් කොහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
පලයෙන් අපි කවුරුත් ලබනෙම් පල
අපෙන් පසුව එන අයටත් එම පල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

කොයිතරම් වැදගත් තේරුමක් තියෙන සින්දුවක්ද? දැන් තියෙන "අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" වගේ නෙවෙයි. වාසනාවට යූ නළයෙ තිබිල මේකෙ වීඩියෝ එකකුත් හම්බවුණා.



ඔය වීඩියෝ එකේ රූප බොඳවෙලා වගේ තියෙන්නෙ වැරදීමකින් නෙවෙයි. ඔරිජිනල් එකේ තියෙන්නෙත් එහෙමමයි. ඒකෙ "පෙර උන් අය සිටවූ අඹ ගස්වල..." කොටසෙදි සීය අඬනව දකින කොට ඇස්වලින් කඳුළු නොඑන්නෙ කාගෙද?

Thursday, August 20, 2009

ඔරිගමි ගැන වචනයක් දෙකක්


ඔරිගමි කිව්වම කස්ටියට මතක් වෙන‍්නෙ මොනවද? මට නම් මතක් වෙන්නෙ පොඩි කාලෙ වැස්ස දවසට හදල පා කරපු බෝට්ටු. සමහරුන්ට නම් ඉස්කෝලෙ කාලෙ එක්සයිස් පොතේ මැද පිටුව ඉරල හදපු ප්ලේන් මතක් වෙනව ඇති.












මේ දවස්වල ඔරිගමි ගැන ටිකක් හොයල බලපු හින්ද හිතුණ ඔරිගමි ගැන පෝස්ට් එකක් දාන්න. ඇත්තටම ඔරිගමි කියන්නෙ අර කලින් කිව්ව වගේ නිර්මාණ කීපයකට හිරවෙල තියෙන දෙයක් නෙවෙයි. මේක ලෝකෙ පුරා මිනිස්සු දහස් ගණන් තමන්ගෙ විනෝදාංශය විදියට කරන බොහොම ජනප්‍රිය වගේම පුළුල් පරාසයක විහිදිල තියෙන මාතෘකාවක්. අර වගේ සරල නිර්මාණ වගේම අර මුදුනෙ තියෙන රූපෙ වගේ ඉතා සංකීර්ණ නිර්මාණ දක්වා ඔරිගමි පැතිරිල තියෙනව.

අපි දන්න සාමාන්‍ය කොල හරේට මෙහෙට නවල හදන නිර්මාණවලට කියන‍්නෙ සාම්ප්‍රදායික ඔරිගමි කියල. තව ජාතියක් තියෙනව modular origami කියල. මේකෙදි කරන්නෙ එක වගේ පොඩි පොඩි කොටස් ගොඩක් හදල ඒව එකතු කරල ලොකු ලස්සන නිර්මාණ හදන එක. මේ රූපෙ බැලුවම තේරෙයි.




තව ජාතියක් තියෙනව කිරිගමි (kirigami) කියල. මේකෙදි කඩදාසිය නමනවට අමතරව කතුරෙන් කැපුමුත් දානව. මේ තියෙන්නෙ කිරිගමි නිර්මාණයක්. මේ විදියට කපල හදන්නෙ ගොඩක් වෙලාවට‍ මේ වගේ ගොඩනැගිලි වගේ දේවල්.

ඔරිගමි වටා නිර්මාණය වෙච්ච ගණිතයකුත් තියෙනවා. මේකට කියන්නෙ Origami Mathematics එහෙමත් නැත්නම් Origamics කියල. වැඩි විස්තර දැනගන්න කැමති නම් ඉතින් ගූගල් එකේ ගහල බැලුවම ඕන තරම් විස්තර හොයා ගන්න පුළුවන්. Origami diagrams කියල හෙව්වම ඔරිගමි නිර්මාණ දහස් ගාණක් කරන හැටි ඉගෙන ගන්න පුළුවන් විස්තර එනවා. මෙන්න මේ අඩවිය තමයි මගෙ ප්‍රියතම එක: http://dev.origami.com/diagram.cfm නිකම් ඉන්න ගමන් එකක් දෙකක් හදල බලන්න. වැඩි අමාරුවක් නෑනෙ. කඩදාසියක් අරගෙන අරහෙට මෙහෙට නමන එකනෙ. හැබැයි හොඳ ඔරිගමි නිර්මාණයක් හැදුවම හිතට ලොකු සතුටක් එනවා. දවසින් දවස හදල හොඳ ඔරිගමි එකතුවක් හදාගන්නත් පුළුවන්.

ඔරිගමි ගැන නම් කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ආයෙත් පස්සෙ දවසක බලමුකො.

Saturday, August 8, 2009

සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකය 1.5 සංස්කරණය


සිංග්‍රීසිවලට හිතුවට වැඩිය ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ප්‍රතිචාර දීපු කාටත් බොහොම ස්තුතියි! නමුත් බොහෝ දෙනෙකුට තිබුණු ගැටලුවක් වුණේ ටිකක් ටයිප් කරගෙන යනකොට ස්ටක් වෙලා ලිය ලිය හිටපු ඔක්කොමත් නැතිවෙන එක. පස්සෙ බලන් යනකොට තේරුණේ මේක වෙන්නෙ පේළියේ කොනටම ටයිප් කරගෙන ගොස් ඉබේම ඊළඟ පේළියට යනකොට බවයි. ඉතා දරුණු වරදක්. සමාවෙන්න. ඔන්න ඒ අඩුපාඩුව හැදුවා.

මීට අමතරව වැඩසටහනට තවත් පොඩි පොඩි කොටස් කීපයක් එකතු කළා. කලින් දීපු Help file එකේ විස්තර ගොඩක් අඩුයි. කොටින්ම යංසය ලියන්නේ කොහොමද කියලවත් තිබුණෙ නැහැ. ඒ අඩුපාඩුවත් හැදුවා.

මෙනු තීරුවේ තියෙන Copy Sinhala Text බොත්තමෙන් සිංහල අකුරු ටික ක්ලිප්බෝ‍ඩ් එකට කෙළින්ම පිටපත් කරගන්න පුළුවන්.

Zip file එකේ උදාහරණ කීපෙකුත් ඇතුළු කරලා තියෙනවා.

සමහරවිට සිංග්‍රීසි හදන එක මම අතෑරල දාන්නම තිබුණා. නමුත් ඒකට ඉඩදුන්නෙ නැත්තෙ සිංග්‍රීසි පාවිච්චි කරල ප්‍රශංසා කරපු, අඩුපාඩු පෙන්නල දීපු ඔබ සැම. බ්ලොග් එකට දීපු ප්‍රතිචාර වගේම ලිපිත් සෑහෙන ගණනක් ලැබුණා. කීප දෙනෙක්ම සිංග්‍රීසි මගින් සිංහල බ්ලොග්කරණෙට පිවිසුණු බවත් අසන්න ලැබුණා. මේ පුරසාරමකට කියන දෙයක් නෙමෙයි. තමන් හදපු දෙයක් ගොඩක් දෙනා පාවිච්චි කර‍නවා දකින කොට හිතට ‍ලොකු සතුටක් එනවා.

මේ සිංග්‍රීසි 1.5 සංස්කරණය. මේකෙත් අඩුපාඩු ඇති. ඒව පෙන්නල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. මේ තත්වෙට හරි ගේන්න පුළුවන් වුණේ ‍එහෙම පෙන්නල දීපු නිසයි.

මෙතනින් බාගන්න:
http://www.mediafire.com/?g2ymzzzmwnz

(මේක වැඩකරන්න Dot Net Framework 3.5 තියෙන්න ඕන.)

ඊමේල් ලිපිනය: thameera123@gmail.com

Thursday, August 6, 2009

බොරු කියන්න ගිහින් වෙච්ච ඇබැද්දියක්...

මේක සිද්ධ වුණේ ජර්මනියෙ වැන්ගරූ (Wangerooge) කියන දූපතේදි. ඔලිම්පියාඩ් එකේ වැඩ ඉ‍වරවෙලා ලකුණුත් දුන්නට පස්සෙ එක විනෝද චාරිකාවක් තියෙනව ඔලිම්පියාඩයට ආපු කවුරුත් සහභාගී වෙන (අනිත් චාරිකාවලට සාමාන්‍යයෙන් යන්නෙ තරගකරුවන් විතරයි).

ඉතින් ඔන්න අපි කවුරුත් උදේ පාන්දරම ලෑස්ති වුණා. ජර්මනිය ලෝක සිති‍යමේ තියෙන තැන මතක අය දන්නව ඇති ජර්මනියට අයත් මුහුදු තීරය තියෙන්නෙ උතුරට වෙන්න කියල. අපි හිටිය බ්‍රේමන් තිබුණෙ මීට කිලෝමීටර් 130ක් විතර යටින්. ඉතින් ගමනෙ මුල් කොටස බස් එකේ තමයි ගියේ. මේ පැත්ත එච්චර නාගරික නෑ. පොඩි පොඩි ගම්මාන පහුකරගෙන යන්න තියෙන්නෙ.

දැන් ඉතින් වෙරළෙ ඉඳල දූපතට යන්න ඕන මගී බෝට්ටුවකින්(ferry). ඒ ගමනටත් පැය දෙකකට කිට්ටුවෙන්න ගතවෙනව. බෝට්ටුවෙදි හම්බවුණු ට්‍රිනිඩෑඩ් කණ්ඩායමත් එක්ක කාඩ් අතක් ගගහ ගිය නිසා වෙලාව යනව දැනුනෙ නැහැ.
ඔන්න දැන් අපි දූපතට ආව. මෙතන ඉඳල අපිව එක්ක ගියේ පුංචි කෝච්චියකින්.

වැන්ගරූ සංචාරක දිවයිනක්. ගොඩක් සංචාරකයො එන්නෙ මෙහෙ තියෙන මූදු වෙරළට. මෙහෙ වෙරළෙ ලංකාවෙ වගේ රන්වන් වැල්ලක් නැහැ. මඩ පාට වැල්ලක් තියෙන්නෙ. අනික වෙරළක් වුණාට ඉර අව්ව වැටෙන්නෙත් නැහැ. පුදුම හීතලයි. ලංකාවට ඇවිල්ල අව්ව තපින ජර්මන් සංචාරකයන්ට ලංකාවෙ අගේ හොඳට තේරෙනව ඇති.

ලං‍කාවෙන් ගියපු අපිට වැල්ල පාගන එක අළුත් දෙයක් නෙවෙයිනෙ. ඉතින් කස්ටිය කතා කරගෙන ගියා කඩ මණ්ඩිය පැත්තට. මං කියන්න ආපු කතාව ඇත්තටම සිද්ධ වුණේ එතනදි.

අනිත් අය සුවනියර් හොය හොය ඉද්දි මටයි ගම්ලත්ටයි ඕන වුණා ටී ෂර්ට් ගන්න. එනකොට තාත්තට මොනව හරි ගෙනාවෙ නැත්නම් ලොකු අඩුපාඩුවක්නෙ. ඉතින් අපි දෙන්නා වටපිට බලද්දි මෙන්න තියෙනවා ඇඳුම් කඩයක්. දෙන්නම කඩේට ගොඩ වුණා.


ටී ෂර්ට් හොය හොය ගියාට අපිට ඕන විදියෙ ඒව නැහැ වගේ. හරිම අමුතු ඇඳුම් තියෙන්නෙ. ගෑණුන්ගෙ ඇඳුම් වගේ...

ගෑණුන්ගෙ??? එක සැරේටම ගම්ලත්ට තමයි මීටර් වුණෙ මේක මේ ගෑණු ඇඳුම් කඩයක් කියල. මාර නෝන්ඩිය. අපි දෙන්න කවුරුවත් දැක්කෙ නැතෙයි කියල හිතල හෙමිහිට මාරු වෙන්න හදන කොටම ඉස්සරහට ආවනෙ කඩේ අයිතිකාරි! ගෑණිටත් අපිට වෙච්ච වැඩේ ‍තේරිලා වගේ හිනා ගියා. හිනා වෙන ගමන්ම ගත් කටටම ඇහුවෙ නැතෑ "මොකද ladiesල හොයා ගෙනද ආවෙ?" කියල. මාර සීන් එක. ඉතින් අපිත් මොනව කියන්නද කට වහගෙන හිටියා.

අපි හිතුවෙ වැඩේ ඉවරයි කියල. ඒත් ගෑණිත් අතෑරියෙ නෑ. අපෙන් ඇහුව මොන රටෙන්ද ආවෙ කියල. අපිත් එළියට යන ගමන්ම කිව්වා "ඉන්දියාවෙන්" කියල. කිව්වා නෙවෙයි කියවුණා. දැන් මෙයා අපේ පස්සෙන්මයි. ඒ පා‍ර "ඉන්දියාවෙ මොන ටවුන් එකෙන්ද" කියල ඇහුවා. ඒ වෙලාවෙ මොන හේතුවක් හින්ද මගේ කටෙන් "හයිද්‍රබාද්" කියල කියවුණාද කියල තාමත් හිතා ගන්න බෑ. ඊළඟ ප්‍රශ්නය: ඉන්දියාවෙ මොන කොනේද හයිද්‍රබාද් තියෙන්නෙ? බොරුවක් කියන්න කට ගන්න කොටම මේ ගෑණි කියාපි තමනුත් ඉන්දියාවෙ අවුරුදු දෙකක් හිටියයි කියල. මළ කෙළියයි. දැන් බොරුවක් කියන්නත් බෑ.

"හයිද්‍රබාද්වල ඉපදුණාට අපි දිල්ලියෙ ඉන්නෙ"
"මමත් දිල්ලියෙ තමයි හිටියෙ. දිල්ලියෙ කොයි හරියෙද?"
"ටවුන් එකේම නෙවෙයි. ටිකක් එහාට වෙන්න"
"දිල්ලියෙ අර අහවල් නම තියෙන ෆැමිලි එක අඳුරනවද?" මොකක්ද පවුලක නමකුත් කිව්වා දැන් මතක නෑ.
"නම නම් අහල තියෙනවා. හරියටම කවුද කියන්න දන්නෙ නෑ"
"දැන නොගන්න විදියක් නෑ. අර අහවල් ෆැක්ටරිය අයිති ඒ ගොල්ලන්ටනෙ!"

මදැයි. එක බොරුවක් කිව්වම බොරු සීයක් කියන්න වෙනව කියන්නෙ ඕක තමයි. කොහොම හරි අපිට ලේසියෙන් ගැලවෙන්න හම්බ වුණේ නැහැ. අපිව gents wear shop එකකටත් එක්ක ගිහිල්ල ටී ෂර්ට් තියෙන තැනත් පෙන්නල ඒ කඩේ අයිතිකාරයටත් ජර්මන්වලින් මොනවදෝ කිව්වා. නියම රැග් එක! අපි දෙන්නත් ගෑණි අහක බලාගන්නකන් ඉඳල හෙමිහිට ෂේප් වුණා. එදා දවසෙ ආයිත් ඒ කඩේ පැත්ත පළාතෙ ගියෙ නැහැ.

මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. නොදන්නා කඩේකට යන්න කලින් ටිකක් එළියෙන් විපරම් කරල බලල ඇතුල් වෙන්න. එක බොරුවක් කිව්වොත් ඒක වහගන්න තව බොරු සීයක්වත් කියන්න වෙන බව හොඳට මතක ති‍යාගන්න. ‍බොරුවක් කියනකොට වුණත් කටට එන එන දේ කියන්න එපා. හොඳට හිතල බලල කියන්න. අනුන් පාවල දෙන්න ගියාම වෙන්නෙ තමන්ම වලේ වැටෙන එක. මේව අපි කාටත් හොඳ පාඩම්.

Tuesday, August 4, 2009

ක්‍රෝම්වලටත් තීම්ස් ඇවිත්!!!

සුබ ආරංචියක්! ගූගල් ක්‍රෝම්වලටත් තීම්ස් ඇවිත්. ක්‍රෝම් ලෝලීන්ට මෙතෙක් කල් තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි තීම්ස් නොමැතිකම. ඔන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි. හැබැයි තවමත් තියෙන්නේ තීම් 30කට කිට්‍ටු ගාණක් විතරයි. ඒත් ඒ තියෙන ටික නම් මාර ගති. Firefox මොනවද කියල හිතෙනවා (@Akila :D). ඔන්න මාත් එකක් දාගත්තා.



හැබැයි තීම්ස් දාගන්න ක්‍රෝම් 3 developer සංස්කරණය ස්ථාපනය කරල තියෙන්න ඕන.
http://tools.google.com/chrome/intl/en/themes/index.html
දැන් කලින් වගේ default.dll මාරුකරකර කර ඉන්න ඕන නැහැ. වින්ඩෝස්වල නම් හොඳට වැඩ. ලිනක්ස්වල තාම උත්සාහ කරන්න බැරිවුණා.

ක්‍රෝම්වල ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ නැති තවත් පහසුකමක් තියෙනවා. Address bar එකේ youtube කියල ලියන්න පටන් ගන්න කොටම එතන දකුණු අත පැත්තෙන් එනවා "Press Tab to search youtube.com" කියලා පණිවුඩයක්. දැන් Tab එක ගැහුවම එතන youtube search box එකක් බවට පත්වෙනවා. මේ පහසුකම cnn.com, digg.com, yahoo.com වගේ අඩවි ගණනාවකට ගන්න පුළුවන්. හැබැයි ගොඩක්ම ‍ප්‍රයෝජනවත් වෙන්නෙ youtube වලට තමයි. මේ ගැන දැන ගත්තෙ ක්‍රෝම් බ්ලොග් එකෙන්.

ක්‍රෝම්වලට ඇඩෝන ලැබෙන දිනයත් අත ළඟ බව මතක් කරමින්...