Tuesday, February 23, 2010

දළුව කඩා මුල් බැඳගෙන පලයන්න


කිරින්ද කිව්වම ගොඩක් අයට මතක්වෙන්නෙ තිස්ස කිරින්ද. ඒත් දකුණු පළාතෙ තවත් කිරින්දක් තියෙනවා. මේ කිරින්ද අහුවෙන්නෙ මාතර ඉඳල හක්මණ පාරෙ කිලෝමීටර් 16ක් 17ක් විතර යනකොට. මම ඉපදුණු හෙට්ටියාවල ගම තියෙන්නෙ මේ කිරින්දෙ ඉඳල බෙලිඅත්ත පාරෙ කිලෝමීටර් හතරක් ගියපු තැන. අන්දරේ lol ඉපදුණයි කියන ගැටමාන්න තියෙන්නෙත් මේ කිරින්ද බෙලිඅත්ත පාරෙමයි.

මුල්ගිරිගල, එහෙමත් නැත්නම් මුල්කිරිගල, ගැන අහල නැති කෙනෙක් ඉන්න බෑ. මේක හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් පුරාණ ලෙන් විහාරයක්. සද්ධාතිස්ස රජ්ජුරුවො හැදෙව්වයි කියල තමයි කියන්නෙ. හක්මණ උමංගලින් පටන් ගන්න උමං මාර්ගයෙ අනෙක් කෙළවර තියෙනව කියන්නෙ මේ මුල්ගිරිගල. ඒත් දන්න තරමට මේ උමගට ගියපු කවුරුවත් ආයෙත් එළියට ඇවිල්ල නැහැ. rolleyes

අපේ ආච්චි අම්ම දවසක් අපිත් එක්ක මුල්ගිරිගල වඳින්න යනකොට බොහොම අගේ ඇති කවියක් කියල දුන්න. මෙන්න මේකයි ඒ කවිය:

---
කිරිඳි වැල කඩා සක උගුලා ගන්න
වේපත ඉරා දෙන සවි කර බැඳගන්න
මීය මරා කණුවට සිරකරගන්න
දළුව කඩා මුල් බැඳගෙන පලයන්න
---

තේරුමක් නැති කවියක් කියල එක සැ‍රේට හිතුණත් මේ කවියෙ වැදගත් තොරතුරක් ගැබ් වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නෙ කිරින්දෙ ඉඳල මුල්ගිරිගල වඳින්න යන පාරෙදි හමුවෙන මං සලකුණු.

කිරිඳිවැල = කිරින්ද
සක = හක්මණ
වේපත ඉරා = වේපතඉර
දෙන = දෙනගම
මීය = මීඇල්ල
කණුවට = කණුමුල්දෙනිය
දළුව = දළුවක්ගොඩ
මුල් = මුල්ගිරිගල

ඒ කාලෙ හිටපු අය නම් මේ කවිය හොඳට දැනගෙන හිටියලු. ඒත් අද කාලෙ කීයෙන් කීදෙනාද මේක දන්නෙ. එක අතකට ඒ කාලෙ මේ කවියෙන් තිබුණු ප්‍රයෝජනේ දැන් නැහැ. හැම තැනම අළුතෙන් පාරවල් හැදිල. ඒත් මේ වගේ දේවල් නැතිම වෙලා ගියොත් ඒක ඉතිහාසය මකල දැම්ම වගේ වැඩක්. මේ වගේ කවි තව ගොඩක් පළාත්වල ඇති. පුළුපුළුවන් ‍විදියට ඒව හොයාගෙන සංරක්ෂණය කරන එක අපි කාගෙත් යුතුකමක්.

කාටත් දැනගන්න කියල මෙන්න සිතියම. ගූගල් මැප්ස්වල හෙට්ටියාවල තිබුණෙ නෑ, ඒක අතින් දැම්මෙ wink

Saturday, February 20, 2010

පෙප්සි සහ apt-get



මාතෘකාව දැක්කම හිතෙනව ඇති තවත් තක්කාලි සහ බෝල්ට් ඇණ වගේ කතාවක් කියල. biggrin මේක නම් ඇත්තටම ඊයෙ (20) වෙච්ච සිද්දියක්.

එක එක ජාති දාන්න ගිහින් මගේ උබුන්ටු ස්ථාපනය අවුල් ජාලයක් වෙලා තිබුණේ. තිබුණ සමහර ප්‍රශ්න කිසිම පෝරමයකින් නිරාකරණය කරගන්න බැරි වුණා. ඉතින් අන්තිමට තීරණය කළා ආයිත් උබුන්ටු දාන්න.

උබුන්ටු දාන එක නෙවෙයි වැඩේ. ආයෙත් සොෆ්ට්වෙයා දාන එක. confused මුල ඉඳන් අළුතෙන් දාන්න වීමක් තියෙන්නෙ. මම නැවතිල ඉන්න බෝඩිම තියෙන හරියේ ඩයලොග් සම්බන්ධතාවය හොඳටම අවුල්. ඒ පාර ලැපත් අරගෙන ගියා එක්සෙල් ලෝකය පැත්තට. වයි ෆයි තියෙනව කිව්වත් මොකක් හරි අවුලක් නිසා වැඩ කළෙ නැහැ. Food court එකේ ඉඳගෙන පෙප්සි එකකුත් බිබී (wink) උබුන්ටු දාලා අත්‍යවශ්‍ය අප්ඩේට් ටිකක් බාන්න apt-get විධානයක් දුන්නා (apt-get කියන්නෙ උබුන්ටුවල මෘදුකාංග ස්ථාපනය කරන ක්‍රමයක්).

අප්ඩේට් බෑවෙන අතරෙ මොකක් හරි වුවමනාවකට බෑග් එක අරින්න අනිත් පැත්තට හැරෙන කොටම නොදැනුවත්වම අත පෙප්සි බෝතලයෙ වැදුණා. බෝතලය පෙරලිලා වැටුණෙ ලැප උඩට! එතනින් නැවතුණේ නෑ, මූඩිය වහල තිබුණත් හොඳට තදවෙලා තිබිල නෑ. ඇතිවෙච්ච කම්පනයට බෝතලෙන් සූස් සූස් කිය කිය පෙප්සි විදින්න ගත්තා. තත්වෙ තවත් භයානක වෙන්න ටච් පෑඩ් එකෙත්, කී බෝඩ් එකේ කොටසකත් පෙප්සි. sad මැසිම කිසිම කතාවක් බහක් නැතුව ඕෆ් වුණා. හරියට වීරය මැරුණු ගමන් හින්දි චිත්‍රපටියක් ඉවර වුණා වගේ.

මේ වගේ වෙලාවක හිතට එන හැඟීම විස්තර කරන්න සිංහල බාසාවෙ වචනයක් නැතුව ඇති. eek ඒ වෙලාවට දැනෙන කම්පනය මරණාසන්න අත්දැකීමකට සමානයි. මොනව කරන්නද කියල හිතාගන්න බැරුව මොහොතක් ඒක දිහා බලං ඉන්නකොට අල්ලපු මේසෙ හිටපු ලස්සන අක්කල කීපදෙනෙක් (wink) පේපර් ස'වියට් කීපයක් දුන්නා. ඒ ටිකෙන් ඉක්මනට තෙත මාත්තු කරල, ලේන්සුවෙනුත් සුද්ද කරා.

ඊට පස්සෙ ඒ අක්කලටත් ස්තුති කරල තව ස'වියට් ටිකකුත් ගෙනත් දීල වෙන මේසෙකට ගියා. ඕන් කරාම මැසිම නම් වැඩ. ඒත් apt-get තනිකර අවුල් ගිහින්. Broken packages ලු. cry කිසිම දෙයක් ඉන්ස්ටල් කරන්න බැහැ. එක එක විදියට apt-get clean කර කර ප්‍රශ්නෙ විසඳන්න හැදුවත් හරි ගියෙ නෑ. කොහොමත් ඒ වෙලාවෙ සන්සුන්ව ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න තරම් මානසිකත්වයක් තිබුණෙ නැහැ. ඉතින් කමක් නෑ, දැම්ම විතරනෙ කියල හිතල ආයිත් මුල ඉඳල උබුන්ටු දැම්මා. හොඳ වෙලාවට USB pen එකෙන් උබුන්ටු දාන්න යන්නෙ විනාඩි 15ක් විතරයි. ඊට පස්සෙ ඉතින් ඕන කරන ඔක්කොම කොඩෙක්, සොෆ්ට්වෙයා දාගෙන තමයි එක්සෙල් ලෝකෙන් එළියට ආවෙ. ඒ හරියෙ බට්ටට 1Mbps විතර නියත වේගයක් එන නිසා කරදරයක් නැතුව ඉක්මනට වැඩේ කරගත්තා.

ඉතින් මේකෙන් ගන්න තියෙන පාඩම තමයි උබුන්ටු දාද්දි පෙප්සි බොනව නම් ප්‍රවේසම් වෙන්න කියන එක. lol දැනට නම් මැසිමට අවුලක් නෑ, ඒත් දීර්ඝ කාලීන බලපෑමක් අනිවා තියේවි.

අර අක්කල තුන්දෙනාගෙ නම් අහගන්නත් බැරිවුණා. ඒ අයට බොහොම ස්තුතියි, කරදරේට පත්වෙලා හිටිය මල්ලියෙක් බේර ගත්තට.

Monday, February 1, 2010

වැඩි ආරස්සාවට Dropbox


දැන් අපේ වැඩකටයුතු කරගන්න පරිගණකය කියන්නෙ නැතුවම බැරි දෙයක්. ඒක තවත් එක් උපාංගයක් නෙවෙයි. අපේ ජීවිතේ කොටසක් වගෙයි. අපේ ජීවිතේ වැදගත්ම තොරතුරු ගබඩා කරල තියෙන්නෙ මේ පරිගණකය ඇතුළෙ. ඒත් එක මොහොතකින් මේ ඔක්කොම දත්ත විනාසවෙලා ගියොත්? confused

මේක අළුත් ප්‍රශ්නයක් නෙවෙයි. ඉස්සර ඉඳලම මේකට විසඳුමක් විදියට කළේ දත්ත උපස්ථ කිරීම, එහෙමත් නැත්නම් තේරෙන බාසාවෙන් කියනව නම් බැකප් කරන එක. ගොඩක් අය කළේ CD හෝ DVD තැටි, බාහිර දෘඪ තැටි, චුම්බක පටි වගේ මාධ්‍ය පාවිච්චි කරල තමන්ගෙ දත්ත උපස්ථ කරපු එක.

නමුත් අධිවේගී අන්තර්ජාලය ජනප්‍රිය වෙන්න ගත්තට පස්සෙ නැවුම් උපස්ථ මාධ්‍යයක් මේ අතරට එක් වුණා. ඒ තමයි ලෝකයේ විවිධ තැන්වල ඇති සේවාදායකවල (servers) තමන්ගෙ වැදගත් ගොනු උපස්ථ කිරීම. මේවට සේවාවලට කියන්නෙ file hosting services කියල. උදාහරණ විදියට Mediafire, Rapidshare, Microsoft Skydrive සහ Dropbox නම් කරන්න පුළුවන්. මේ අතරින් අපේ එදිනෙදා අවශ්‍යතාවලට ගොඩක්ම ප්‍රයෝජනවත් සේවාවක් තමයි Dropbox.

මොකක්ද මේ Dropbox?

Dropbox කියන්නෙ තවත් එක මාර්ගගත උපස්ථ සේවයක් විතරක් නෙවෙයි. මේ මගින් අපට අපේ වැදගත් ගොනු සමමුහුර්ත කිරීමේ (file synchronizing) හැකියාවත් ලබාදෙනව. ගොනුවක් සමමුහුර්ත කරනව කියන්නෙ අපි අපේ පරිගණකයෙ ඉඳගෙන මොනවහරි වෙනසක් සිදු කළොත් ඒ වෙනස ඒ විදියටම ගොනුව උපස්ථ කරල තියෙන ස්ථානයෙත් සිදුවීමයි. ඉතින් යම් හේතුවක් නිසා අපේ දත්තවලට හානියක් සිදුවුණොත් ඒව තිබුණු විදියටම ප්‍රතිස්ථාපනය කරගැනීමේ හැකියාව අපිට ලැබෙනව.

Dropbox සේවාව අපට ලැබෙන්නෙ නොමිළේ. මුලින් 2GB ඉඩක් ලැබුණත් මිතුරන්ට ආරාධනාකිරීම මගින් ඒ ඉඩ 5GB විතර වෙනකං වැඩි කරගන්න පුළුවන්. මිතුරෙක් විසින් පිළිගන්න ආරාධනාවක් සඳහා 250MB වැඩිපුර ඉඩක් අපිට ලැබෙනව. මීටත් වඩා ඉඩ වැඩිකරගන්න ඕන නම් ගෙවල ලබාගන්න පුළුවන්.
wink

Dropboxවල තවත් විශේෂත්වයක් තමයි අපිට පරිගණක කිහිපයක් තියෙනම් ඒ සියල්ල එකම ගිණුමකට සමමුහුර්ත කිරීමේ හැකියාව. උදාහරණයක් විදියට අපේ රාජකාරි ස්ථානයේ පරිගණකයත් ගෙදර පරිගණකයත් මෙය සමග සම්බන්ධ කළා කියල හිතමු. එතකොට එක් පරිගණකයකින් අනෙකට දත්ත හුවමාරුකරන්න විශේෂ මහන්සියක් වෙන්න ඕන නැහැ. රාජකාරී වෙලාවෙ කර කර හිටපු වැඩේ ගෙදර ගිහින් නවත්තපු තැන ඉඳල පටන් ගන්න පුළුවන්.
razz

අපි උපස්ථ කරන ගොනුවලට ප්‍රවේශවෙන්න පුළුවන් අපිට විතරයි. ඒත් අවශ්‍ය නම් තෝරාගත් ගොනු Public ලෙස නම් කර කාටත් බලාගන්න පුළුවන් වෙන විදියට සෘජු සබැඳිවුණත් ගන්න පුළුවන්.

ඉතින් මේකට අසීමිත සබඳතාවයක් ඕන නැද්ද?
rolleyes


ADSL නැති අපි වැඩිදෙනෙකුට තවමත් තියෙන්නෙ සීමිත අන්තර්ජාල සබඳතා. නමුත් Dropbox භාවිතයට මේක ගැටලුවක් නෙවෙයි. Dropbox ස්ථාපනය කළාම අපේ පරිගණකයෙ Dropbox කියල ෆෝල්ඩරයක් හැදෙනව. ලිනක්ස්වලදි නම් මේක හැදෙන්නෙ Home ෆෝල්ඩරයෙ. වින්ඩෝස්වලදි නම් My Documents ෆෝල්ඩරයෙ. අපිට තියෙන්නෙ අපිට උපස්ථ (හෝ සමමුහුර්ත) කරන්න අවශ්‍ය ගොනු මේ ෆෝල්ඩරයට ඇදල දාන එක. මේ නිසා සේවාදායකයට යන්නෙ අපි තෝරගත්තු ගොනු විතරයි. අනවශ්‍ය විදියට බෑන්ඩ්විත් කා දැමීමක් වෙන්නෙ නැහැ.

අනෙක් අතට හැම වෙලේම අන්තර්ජාල සබඳතාවය තියෙන එකත් අවශ්‍යතාවයක් නෙවෙයි. ජාලයට සම්බන්ධවුණු වෙලාවට ඉබේම අපේ දත්ත සමමුහුර්ත වෙනවා.

මේ සේවය ලබාගන්නෙ කොහොමද?

ඕන කෙනෙකුට පහසුවෙන් මේක කරගන්න පුළුවන්. Dropbox අඩවියට ගිහිල්ල අපට අවශ්‍ය මෙහෙයුම් පද්ධතියට සෙටප් ගොනුව බාගෙන ස්ථාපනය කරන්නයි තියෙන්නෙ. දැනට Dropbox ගිණුමක් නැත්නම් ස්ථාපනය අතරතුරදිම ගිණුමක් හදාගන්න පුළුවන්. සරලයි සුගමයි.
lol

ආරම්භයක් විදියට අපේ bookmarks list එක, feeds list එක වගේ වැදගත් ගොනු කිහිපයක් උපස්ථ කරල බලන්න. අපට නිතරම අවශ්‍ය වෙන ගොනු Dropboxට ඇදදැමීමෙන් ලෝකෙ කොහේ හිටියත් අපට ඒ ගොනුවලට ප්‍රවේශ වෙන්න පුළුවන්.

මීට අමතරව වෙනත් සේවා ගැන අත්දැකීම් තියෙනම් ප්‍රතිචාරෙකුත් දාලම යන්න.
smile