Friday, December 31, 2010

අළුත් අවුරුද්දෙ වැදගත් වැඩකට අතගහන්න කැමතිද?



Wikinews කියන්නෙ විකිපීඩියා වගේම ඕන කෙනෙකුට දායක වෙන්න පුළුවන් පුවත් අඩවියක්. දැනට භාෂා ගණනාවකින් මේ අඩවිය තිබුණත් සිංහල භාෂාවෙන් wikinews එකක් නැහැ. මේ නිසා අපේ බුධාජීව මලයගෙ අදහසකට අනුව සිංහලෙන් 'විකිපුවත්' නමින් wikinews සිංහල සංස්කරණයක් එළි දක්වන්නයි ලෑස්තිය. මේ ලිපිනයෙන් දැනට හදාගෙන යන විකිපුවත් අඩවියට පිවිසෙන්න පුළුවන්.

නමුත් si.wikinews.org නමින් අඩවිය පටන්ගන්න අනුමැතිය ලැබෙන්න කලින් විකිපුවත් පරීක්ෂණ කීපයක් සමත් වෙන්න ඕන. මේ අතරින් මූලික පරීක්ෂණය දැනටමත් විකිපුවත් සමත් වෙලා තියෙන්නෙ. ඒත් දැනට තියෙන ලොකුම බාධකය තමයි පුවත් සපයන සංස්කාරකවරුන්ගෙ අඩුපාඩුව. මේ සඳහා නම් ඉදිරිපත් කරල තියෙන්නෙ දැනට 6 දෙනෙක් විතරයි.

මේ වැඩේට කැමති නම් කරන්න තියෙන්නෙ පොඩි දෙයක්.

  1. විකිපීඩියාවලට ලොග් වෙන්න. පරිශීලක නමක් නැත්නම් sign up වෙන්න.
  2. http://meta.wikimedia.org/wiki/Requests_for_new_languages/Wikinews_Sinhala ලිපිනයට යන්න. 
  3. පිටුවෙ දකුණු අත පැත්තෙ උඩ තියෙන Edit සබැඳිය ක්ලික් කරන්න. 
  4. එතකොට එන පිටුවෙ උඩ හරියෙම මෙන්න මේ වගේ පේළියක් තියෙනව:
  5. |community = [[User:Budhajeewa|Budhajeewa]] N P, [[User:Thameera123|Thameera123]] N P, [[User:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] N,[[User:Keheliya|Keheliya]] N, [[User:බිඟුවා|බිඟුවා]] N , [[User:Shane44|Shane44]] N
  6. මේ තියෙන්නෙ දැනට නම් දීපු අයගෙ පරිශීලක නම්. මේ පේළියෙ අගට ඒ විදියට ඔබේ විකිපීඩියා/විකිනිව්ස් පරිශීලක නම එකතු කරන්න. 
  7. පිටුවෙ පහළින් තියෙන Save page බොත්තම ක්ලික් කරන්න. 

මේ ටික කරන්න අමාරු වගේ නම් පහළින් කොමෙන්ටුවක් විදියට ඔබේ විකිපීඩියා පරිශීලක නම දෙන්න. එතකොට අපිට පුළුවන් ගිහින් නම එකතු කරන්න.

එහෙනම් කාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන, උපරිම ඩවුන්ලෝඩ් ස්පීඩ් ලැබෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

Friday, December 17, 2010

බ්ලොග්කරුවන්ගේ හමුව සහ තමීරගේ නොපැමිණීම



2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව දෙසැම්බර් 19 වැනිදා කොළඹ නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේදී පැවැත්වේ.

මේ හමුවට යෑම සඳහාම තමීර තම බ්ලොග් එක නැවත ලිවීම ආරම්භ කළ බව පසුගිය බ්ලොග් ලිපියක පළවුවත් එම හමුවට ඇත්තෙන්ම ඔහු සහභාගී නොවන බව නිල නොවන ආරංචි මාර්ගයෙන් දැනගැනීමට හැකි විය. මේ ගැන තමීරගෙන් කළ හේතු විමසීමකදී දැන ගැනීමට ලැබුණේ මේ තොරතුර සත්‍යයක් බවත් එදින ඔහු සහභාගී නොවන්නේ පෞද්ගලික හේතුවක් මත බවත් ය.

සිංහල බ්ලොග් ලොවම කම්පා කළ මේ තීරණය ගැන අපි රටේ නමක් දිනා ඇති බ්ලොග්කරුවන් කිහිපදෙනෙකුගෙන් කළ අදහස් විමසීමකදී ලැබුණේ මෙවැනි පිළිතුරු ය.

තාක්ෂණික බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: මම නම් එදාට එන්න හිටියෙම තමීර හම්බවෙන්නමයි, දැන් නං ඉතින් ඇවිල්ල තේරුමක් නෑ. කොහොමත් ඔය හමුවෙදි එක එක්කෙනාගෙ වල්පල් කතා ටිකක් අහං ඉඳල එන එක විතරනෙ කෙරෙන්නෙ.

සින්ඩියක් පවත්වාගෙන යන බ්ලොග්කරුවෙක්: මාත් ඕකට එන්නැතුව ඉන්න තමයි කල්පනා කළේ. බ්ලොග්කරුවන්ගෙ හමුවක් කියල අලි බොරුවක් ඔතන කරන්නෙ. තමීරටත් මේ ගැන තේරිලා තිබීම ගැන සතුටුවෙන්න ඕන.

නිතර කවි ලියන බ්ලොග්කරුවෙක්: මට නම් මේක එක සැරේට විශ්වාස කරන්නත් බැරි වුණා. තමීර එන්නෙ නෑ කියන්නෙ තව කී දෙනෙක් එන්නැතුව ඉඳීද දන්නෙ නෑ. මාත් හිතුණොත් යන්නෙ නෑ ඔය කෙහෙල්මලට.

තවත් තාක්ෂණික බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: ඕක එච්චර කලබල වෙන්න ඕන දෙයක් කියල මම නම් හිතන්නෙ නෑ. තමීරය කොහොමත් අමු පිස්සනෙ. අපි නම් හමුවට අනිවාර්යෙන් එනව.

විවිධ විකාර අදහස් ලියන බ්ලොග්කරුවෙක්: මං මේ කල්පනා කරේ අවුරුද්දකට සැරයක් තියෙන හමුවකට නොඑන්න තරම් තමීරට තියෙන පෞද්ගලික ප්‍රශ්නෙ මොකක්ද කියල. මෑන් යන කැම්පස් එකත් මේ දවස්වල වහලනෙ තියෙන්නෙ. බොරු කතාවක්ද දන්නෙත් නෑ.

බොහොම හැඟීම්බර බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: තමීර හොඳ වැදගත් දේම ලියන බ්ලොග්කරුවෙක්. මේ වගේ අයත් මේ හමුවට එන්නෙ නෑ කියන්නෙ හමුවෙ පරමාර්ථ ඉෂ්ඨ වෙන්නෙ නෑ කියන එකයි. හැබැයි එක්කෙනෙක් නොඑන නිසා හමුව අසාර්ථක වෙයි කියල කියන්න අමාරුයි. අපි මේක යථාර්ථවාදීව හිතල බලන්න ඕන ප්‍රශ්නයක්.

කවිත් ලියන, බ්ලොග් එකේ තීම් එකවත් හරියට හදාගන්න බැරිවුණු බ්ලොග්කාරියක්: අයියෝ තමීර එන්නැද්ද? මං හිටියෙ එදාට හොඳවයින් දෙකක් කතා කරන්න. මැරතන් එකේදිත් මට එකේක පද හැදුව. අපරාදෙ.

ලිනක්ස් සහ ෆොස් ගැන පමණක් කතා කරන බ්ලොග්කරුවෙක්: මම නම් කොහොමත් ඔය හමුවට විරුද්ධයි. මයික්‍රොසොෆ්ට් එකෙන්නෙ අනුග්‍රහය දෙන්නෙ. අපි එයි ඕවට. තමීරත් නොඑන එකමයි හොඳ.

තාක්ෂණය ගැන ඇති දැනුමක් නැතත් තාක්ෂණික බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: කවුද තමීර කියන්නෙ?

මේ කුමන අදහස් මතු වුවත් මෙවර සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව තමීර නැතැයි කියා ගැටලුවක් නොවී සාර්ථකව පැවැත්වෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Sunday, December 5, 2010

රෙදි හෝදන හැටි

බෝල කූඩුවේ තව ඇඳුමක් එල්ලුවොත් එය බරට කඩාගෙන වැටෙණු ඇත. එහි එතරම්ම ඇඳුම් පිරිලාය. අද හෝදනවා, හෙට හෝදනවා යි කියා හිතාගෙන හිටියත් කෙරෙන්නේ නම් නැත.

ඇඳුම් හෝදන එක තරම් කම්මැළි වැඩක් ලෝකයේ නැත. ගෙදර හිටියා නම් අම්මාට කියා හෝදා ගන්නට තිබුණි. අම්මා නැති කලට කණයා පණ්ඩිතයාද මොකක්ද කියා කියමනකුත් ඇත. අම්මා නැති කඩුව කොස් කොටන්නද කියා පරණ අය ඇහුවේ ද කට කහනවාට නොවේ.

මීට මාස කිහිපයකට පෙර සඟරාවක තිබී මට අපූරු ලිපියක් කියවීමට හමුවිය. එහි කතුවරයා යෝජනා කර තිබුණේ යම් කිසි දෙයක් ගැන සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉගෙනගැනීම එම වැඩය පහසුකරගැනීමට හේතුවන බවයි.

උදාහරණයක් ලෙස ඇඳුම් සේදීම ගනිමු. ඇඳුම් හේදීමේ විවිධ ක්‍රම, වඩාත් කාර්යක්ෂමව ඇඳුම් හේදීමට ලෝකයේ විවිධ අය යොදාගන්නා  උපායයන්, ඇඳුම් හෝදන අතරදී තනිවම කළ හැකි ක්‍රීඩා, වතුරට රෙදි හෝදන කුඩු දමන නිවැරැදි අනුපාත, මැසිමෙන් හෝදනවාට වඩා අතින් රෙදි සේදීමේ වාසි, මෙවැනි අනේකවත් දේවල් ගැන අපට අන්තර්ජාලයෙන් සොයා බැලිය හැකිය. මේවා දැන ගැනීමෙන් රෙදි සේදීම දෙස අප බලන දෘෂ්ටිකෝණය වෙනස්වෙයි. තවදුරටත් එය විඩාව ගෙනදෙන කම්මැළි ක්‍රියාවක් ලෙස අපට නොපෙනෙයි.

මෙය ඇඳුම් හේදිම පමණක් නොව ගෙදර අතුගෑම, ඇඳූම් ඉස්තිරික්ක කිරීම, වාහනය සේදීම වැනි ඕනෑම අප අකමැති වැඩකට යොදාගත හැකිය. බෝල කූඩුවට නැවතත් බරින් නැවීමට සිදු නොවනු ඇත. රෙදි සෝදාගත් කල ගොවියා රජ කමටත් සුදුසු බව ඔබ අසා ඇතුවාට සැක නැත.

Friday, December 3, 2010

ගෝල් දේශයේ කතාවක්



ගෝල් දේශයේ තමීර නම් කොල්ලෙක් වාසය කළේය. මේ කොල්ලා හැඩකාරය. මොළකාරය. කටකාරය. හැබැයි ටිකක් ආඩම්බරකාරය. ඔහුට බ්ලොග් එකක් ද තිබුණේය. කාලයක් මේ කොල්ලා යස අගට මේ බ්ලොග් එක ලිය ලිය හිටියේය.

මෙහෙම යන විට ගෝල් දේශයට විශාල ඉඩෝරයක් ආවේය. මේ ඉඩෝරය තමීරට බොහොම දරුණුවට බලපෑවේය. බ්ලොග් ලිවීම ද එහෙම්ම නැවතී ගියේය.

මෙහෙම කාලයක් ගතවුණේය. දවසක් පාර අයිනේ කජ්ජකට කුරුමාණම් අල්ලමින් හිටි තමීරට බ්ලොග්කරුවන්ගේ සංසදයේ හමුවීමක් ගැන ආරංචියක් කන වැකුණේය. එක පාරටම තමීරට 'හුටා'යි කියවුණේය. ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්නට ඔහුට ඕනෑ වුණේය.
මෙහෙම හිතා කඩදාසියක පොඩි බ්ලොග් පෝස්ට් එකක් ද ලියා සංසදයෙන් විසික් වී තිබුණු බ්ලොගය නැවත දාන්ටැයි ඉල්ලීමක් ද කර හමුවීමට යන්නට ලක ලැහැස්ති වුණේය.