Tuesday, March 16, 2010

තාමත් අපේ අය ෆයර්ෆොක්ස් පාවිච්චි කරන්නෙ ඇයි?

ෆයර්ෆොක්ස් කියන්නෙ දැනට භාවිතයෙ තියෙන අග්‍රගණ්‍යම වෙබ් බ්‍රව්සරයක්. මේකට තරම් ඇඩෝන ප්‍රමාණයක් දැනට කිසිම බ්‍රව්සරයකට නැහැ.
ඒත් ෆයර්ෆොක්ස් දරුණු විදියට මන්දගාමීයි. ටැබ් හත අටක් විවෘත කරගත්තු හැටියෙ බ්‍රව්සරය ස්ටක් වීමේ සම්භාවිතාව පුදුම විදියට වැඩිවෙනව. ඇඩෝන කීපෙකුත් දාල නම් තත්වය තවත් දරුණුයි.
නමුත් ගූගල් ක්‍රෝම්වල මේ ගැටලුව නැහැ. දැනට තියෙන වේගවත්ම බ්‍රව්සරය බවට අවිවාදයෙන් පිළිගැනෙනව වගේම මේකට තියෙන ඇඩෝන ප්‍රමාණයත් දවසෙන් දවස වැඩිවෙනව. ඒත් ක්‍රෝම් පාවිච්චි කරන පිරිස තාම අතළොස්සක්.
ක්‍රෝම්වල මුල් කාලෙ ගොඩක් ගැටලු තිබුණ. මූලික ප්‍රශ්නය වුණේ ඇඩෝන නොතිබීම. ලංකාවෙ අපට තිබුණු තවත් ගැටලුවක් තමයි සිංහල යුනිකෝඩ් ෆොන්ට් හරියට රෙන්ඩර් නොවීම. ඒත් මේ ගැටලු දෙකම දැන් ගොඩක් දුරට විසඳිලා. වයස මදිකම නිසා ඇඩෝන ප්‍රමාණය අතින් පිටිපස්සෙන් හිටියත් වේගය අතින් නම් කිසිම බ්‍රව්සරයකට දෙවැනි වෙන්නෙ නැහැ.
ක්‍රෝම්වල වේගයට ප්‍රධාන හේතුව තමයි multiprocessing කියන සංසිද්ධිය උපරිමෙන් ප්‍රයෝජනයට ගැනීම. ෆයර්ෆොක්ස් ගත්තම මුළු බ්‍රව්සරයම තනි process එකක් විදියටයි තියෙන්නෙ. නමුත් ක්‍රෝම්වල වෙන වෙන ටැබ්වලට තියෙන්නෙ වෙන වෙනම process. මේ නිසා එක ටැබ් එකක් ක්‍රෑෂ් වුණත් අනිත් ඒවට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඇඩෝනවලටත් වෙන වෙනම process තියෙනවා. මීට අමතරව ප්‍රධාන මතකය (RAM) භාවිතය අතිනුත් ක්‍රෝම්වලට හිමිවෙන්නෙ අංක එක.
මේ වගේ හේතු නිසා ක්‍රෝම් ඉන්නෙ අනිත් බ්‍රව්සරවලට ඉදිරියෙන්. සමහරක් වැඩවලට ෆයර්ෆොක්ස් ළඟින් තියාගෙන ඉන්න ඕන වෙනව. ඒත් ඒක ප්‍රධාන බ්‍රව්සරය විදියට පාවිච්චි කරන එක පරණ ලොරියක් එළවනව වගේ වැඩක්. තාමත් අපේ කට්ටිය ෆයර්ෆොක්ස්වලටම වෙලා ඉන්නෙ ඇයි කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක්.