Saturday, May 22, 2010

උබුන්ටු ස්ථාපනය කළ පසු...

උබුන්ටු (හෝ වෙනත් ඕනෑම මෙහෙයුම් පද්ධතියක්) පරිගණකයේ අළුතෙන් ස්ථාපනය කළ පසු එය අපට සුවපහසුවන ආකාරයට 'tweak' කරගත යුතුය. එනම් අපේ එදිනෙදා වැඩට පහසුවන ලෙස අළුත් මෘදුකාංග එකතු කිරීම, පද්ධති සැකසුම් වෙනස් කිරීම ආදිය කළ යුතුය. උබුන්ටු සමග පෙරනිමියෙන් විවිධ මෘදුකාංග ගණනාවක් පැමිණියත් අප බොහෝ දෙනාගේ අවශ්‍යතාවලට ඒ ප්‍රමාණය මදිවේ.



වින්ඩෝස්වල සිට උබුන්ටුවලට පැමිණෙන බොහෝ නවකයන්ට මෙන්ම  උබුන්ටු එක් සංස්කරණයක සිට නව සංස්කරණයකට යාවත්කාල කිරීමේදී ද මෙම ගැටලුව ඇතිවෙයි.

උබුන්ටු නව ස්ථාපනයක් කළ පසු මම සාමාන්‍යයෙන් එයට එකතු කරන මෘදුකාංග කිහිපයක් කාගේත් ප්‍රයෝජනය පිණිස පහත දක්වමි. ඔබේ අවශ්‍යතාවයන් මීට වඩා මඳක් වෙනස් විය හැකිය. අතහැරුණු යම් යම් දේ ද තිබෙන්නට පුළුවන. පසුව මතක් වුවහොත් මෙම ලිපියම අළුත් කිරීමට බලාපොරොත්තු වෙමි.

වැදගත් : සමහරක් මෘදුකාංග "රෙපොසිටරියෙන් බාගත හැකිය" යි සඳහන් කර ඇත. මෙහි තේරුම Ubuntu Software Center සහ ටර්මිනලයේ sudo apt-get install භාවිචයෙන් ස්ථාපනය කළ හැකි බවයි. වැඩි දුර විස්තර සඳහා මේ ලිපිය බලන්න.

අත්‍යවශ්‍ය මෘදුකාංග

sinhala
1. සිංහල යුනිකෝඩ් ස්ථාපනය
ගොඩ දෙනෙකුගේ මුල්ම පියවර සිංහල ස්ථාපනයයි. කරන විදිය ගැන පැහැදිලි විස්තරයක් මෙතැන තිබේ. දැනට ඇති ලස්සනම සිංහල ෆොන්ටය වන මලිති වෙබ් අවශ්‍ය නම් මෙතනින් බාගන්න.

2. Restricted extras
මෙය ස්ථාපනයෙන් MP3, flash වැනි වාණිජමය දිගු (extensions) සහිත ගොනු විවෘත කළ හැකිය. වෙනත් ආකාරයකට කියනවා නම් වින්ඩෝස්වලදී media codecs ස්ථාපනයට සමානය. මෙය ubuntu-restricted-extras නමින් රෙපොසිටරියෙන් බාගත හැකිය.

vlc player
3. VLC Player
උබුන්ටු සමග පෙරනිමියෙන් Totem Player පැමිණියත් සාමාන්‍ය පරිශීලනයට පවා එහි ඇති විශේෂාංග ප්‍රමාණය මදිය. මෙයද රෙපොසිටරියෙන් බාගත හැකිය.

4. Adobe Air
නිතරම භාවිතාකිරීමට අවශ්‍ය වන Adobe Air apps ධාවනයට Air Runtime එක මෙතනින් බාගත හැකිය. මෙහිදී අපට ලැබෙන්නේ bin දිගුව සහිත ගොනුවකි. මෙය ධාවනය කිරීමට ටර්මිනලයෙන් අදාළ ඩිරෙක්ටරියට ගොස්,
sudo chmod +x AdobeAIRInstaller.bin ලබාදී
./AdobeAIRInstaller.bin ලෙස ඇතුළත් කර Enter කරන්න.

5. Rar සහ Unrar
Zip, tar.gz වැනි දත්ත හකුළන දිගු උබුන්ටු තුළ පෙරනිමියෙන් අඩංගුවුණත් අපට නිතරම අවශ්‍ය වෙන Rar ගොනු සමග වැඩකිරීමට Rar සහ Unrar ස්ථාපනය කරන්න. රෙපොසිටරියෙන් ලබාගත හැකියි.

6. Wine
අත්‍යවශ්‍ය නොවේ යැයි තර්ක කළ හැකි වුණත් වින්ඩෝස් මෘදුකාංග ධාවනය කිරීමට Wine අතුරුමුහුණත සෑම උබුන්ටු පාවිච්චි කරන්නෙකුම පාහේ භාවිතාකරනු දැකිය හැකිය. රෙපොසිටරියෙන් ස්ථාපනය කළ හැකිය.

අවශ්‍ය නම් එකතු කළ හැකි මෘදුකාංග

google chrome
1. ගූගල් ක්‍රෝම්
උබුන්ටු සමග පෙරනිමියෙන් ෆයර්ෆොක්ස් පැමිණෙයි. නමුත් ඔබ වඩාත් ප්‍රියකරන්නේ ක්‍රෝම් නම් මෙතනින් ස්ථාපනය කළ හැකිය.

2. Dropbox
දත්ත උපස්ථ කිරීමට Dropbox පාවිච්චි කරන්නේ නම් අදාළ client එක ස්ථාපනය කළයුතුය. Dropbox අඩවියෙන් මෙයට අදාළ deb ගොනුව බාගෙන ඩබල් ක්ලික් කිරීමෙන් ස්ථාපනය කරගන්න.

gimp
3. GIMP
උබුන්ටු 10.04 සිට ඡායාරූප සමග වැඩකිරීමට F-Spot Photo manager පමණක් පැමිණෙයි. නමුත් මෙහි ඇති විශේෂාංග ප්‍රමාණය GIMPට වඩා බෙහෙවින් අඩුය. GIMP රෙපොසිටරියෙන් ස්ථාපනය කළ හැකිය.

4. Ubuntu Tweak
උබුන්ටුවල ඇති බොහෝ සැඟවුණු පද්ධති සැකසුම් පහසුවෙන් වෙනස් කිරීමට ඉඩ සලසන මෘදුකාංගයකි. මෙතනින් බාගන්න.

මීට අමතරව එකතු කරන්න පුළුවන් පොඩි පොඩි ගැජමැටික් කෑලි ගොඩක් තියෙනව. හැම එකම දාන්න එක පෝස්ට් එකක් මදි. ඉඩ ලැබෙන විදියට බලමු.

EAVB_QHBQSJGLYG

Tuesday, May 18, 2010

අවුරුද්දක බ්ලොග් කෙරුවාව



මේ මගේ 50 වැනි බ්ලොග් සටහනයි. සිංහලෙන් බ්ලොග් ලිවීම ආරම්භ කළේ මීට අවුරුද්දකුත් දින කිහිපයකට කලිනි. හරියටම කියනවා නම් 2009 මැයි 14 වැනිදායි.

සිංහල බ්ලොග්කරණය සහ බ්ලොග් සංසදය ගැන මම දැනගත්තේ පහන්ගේ දින සටහන් සහ ශාකුන්තලගේ සටහන්පොත කියවීමෙනි. මුලින්ම මම කියවූයේ මේ දෙකෙන් කුමන එකදැයි මට මතක නැත. ඒ ගැන පහන් සහ ශාකුන්තල දබර කර නොගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

මුල සිටම සටහන් කළේ විජේසේකර කීබෝඩයෙනි. ඉංග්‍රීසියෙන් සිංහලට මාරුවීමට වින්ඩෝස්වලදී Left Alt+Shift එබිය යුතු බවවත් නොදැන සිටි මා ගුරුහරුකම් ලබා ගත්තේ ඉසුරු උදාන ගෙනි.

පළමුවැනි බ්ලොග් පෝස්ට් එක ලියන විට කොමෙන්ට් කිරීම යනු කුමක්දැයි කියාවත් නොදැන සිටියෙමි. දවසක් දීප්ස් නැමැත්තියගෙන් මූණුපොතේ පණිවුඩයක් මට ලැබුණි. ඇය කියා තිබුණේ මගේ සටහන් අනගි බවත්, බ්ලොග් එකේ කොමෙන්ට් කිරීම ගැටලු සහගත බවත්ය. මුලින්ම මගේ බ්ලොග් සටහනක් අගය කළේ ඇයයි. ඒ පණිවුඩයෙන් මට ලොකු ආත්මාභිමානයක් ඇතිවිය. තීම් එක වෙනස් කිරීමෙන් කොමෙන්ට් කිරීමේ දෝෂය මග හරවාගත්තෙමි.

මුලින්ම මගේ සටහනකට කොමෙන්ටුවක් ලබාදුන්නේ ඉන්දරේ නොහොත් ඉන්ද්‍රනාමයි. අද වගේ කොමෙන්ටු දමන්නට වැඩි දෙනෙක් නොසිටි ඒ දවස්වල ඒ කොමෙන්ටුව වැටුණුවිට මට ඇතිවුණු සතුට ඉන්දරේ  දන්නවා නම්!

මේ හැර තවත් බොහෝ දෙනෙක් විවිධ ආකාරයෙන් මේ ආ ගමනේ උපකාර කළෝය. දිරි දුන්නෝය. මේ සියලුදෙනාට හදවතින්ම මාගේ ප්‍රණාමය පුදකරමි. ඔබ නැති වූයේ නම් මෙවැනි ලිපියක් තබා තමීරගේ තීරයක්වත් අද නොතිබීමට ඉඩ තිබුණි.

මගේ බ්ලොග් සටහන් පනහෙන් මුල් ඒවායේ තරමක බොළඳ ගතියක් ඇතැයි මට සිතෙයි. බොහෝ කලක් යන තෙක් ඒවා තාක්ෂණික දේවලටම සීමාවිය. පසුව ගණිත ඔලිම්පියාඩය ගැන ලිපි කිහිපයක්ද ලිව්වෙමි. ඉන්පසු විවිධාකාරයේ ප්‍රවර්ග යටතේ සටහන් කළෙමි. විරහව, මගතොට සිදුවීම්, කවි මේ අතර විය.

බ්ලොග්කරණය නිසා මගේ ජීවිතය වෙනස් විය. ඒ වෙනස්වීම සිදුවූයේ හොඳ දිශාවකටය. බොහෝ මිතුරු මිතුරියන් හැඳින ගත්තෙමි. බ්ලොග්කරුවන්ගේ හමුවීමට ද සහභාගී වුණෙමි. බ්ලොග් මැරතන් එකක් ද දිව්වෙමි. තවත් කිහිපදෙනෙකුටම බ්ලොග් කලාවට අත්පොත් තබන්නට උදව්කළෙමි. සිංග්‍රීසි යෙදුම මගින් විජේසේකර කීබෝඩය නුහුරු අයට සිංහල ලිවීමට උදව්වක් ලබාදුන්නෙමි. ජීවිතය, සමාජය ගැන හොඳ අවබෝධයක් මෙන්ම තාක්ෂණික විෂයයන් ගැන ලොකු දැනුමක් ද ලබාගත්තෙමි.

මගේ එක් ලිපියකට ප්‍රතිචාරයක් එක් කරන තිස්ස දොඩන්ගොඩ අයියා මෙසේ කියයි:

තමීර හාර්ඩ්වෙයා ස්ටෝර්ස්
සියලුම වර්ගයේ ඇණ විකිණීමට ඇත.

ඒ ප්‍රතිචාරය නිවැරැදිය.

හොඳ හොඳ ඇණ තවම නිමැවුණේ නැත. තමීර හාර්ඩ්වෙයා ස්ටෝර්ස් වෙතින් ඔබ නොසිතූ විරූ අන්දමේ ඇණ වර්ග බලාපොරොත්තු වන්න.

Saturday, May 15, 2010

බ්ලොග් නොකියවීම

බ්ලොග් කියවීමේ පුරුද්ද කාලයක සිට මගෙන් ගිලිහී ගොස් ඇත. කාර්යබහුල බව මෙයට දිය හැකි හොඳම නිදහසට කරුණක් බව දනිමි. නමුත් එවැන්නක් දීමෙන් මුලාවන්නේ මම ම බව ද දනිමි.

මම බ්ලොග් කියවීම අඩු කළේ ඇයි? සතියේ දිනවල නම් දවල් කාලයේ ඔපීසිය තුළ කියවිය නොහැකිය. ගෙදර එනවිට රෑ 7.30 පමණ වෙයි. ඉන්පසු chess.com වලට ලොග් වන මම චෙස් ඇදීමත්, ටුවිට් කිරීමත් කරමි. යන්තම් නිදිමත හැදීගෙන එන විට කතා පොතකුත් ගෙන ඇඳට යමි. සති අන්තයේ වුවද වැඩි වෙනසක් නැත. බ්ලොග් එකක් කියවිය යුතු යැයි හැඟීමක් සිතට නො එයි.

හදිසියෙන් දවසක සින්ඩිකේටරය පැත්තට ද යමි. බ්ලොග් පෝස්ට් එකක් දෙකක් විවෘත කරමි. සමහර ඒවා දිගය. කියවන්නට කම්මැළිය. සමහර ඒවායේ ඇත්තේ මම අකමැති මාතෘකාවකි. ඒවා නොකියවමි. සමහර ඒවා මා වැනි 'උගත්' අයෙකුට නොසුදුසු යැයි සිතෙයි. ඒවා කියවීම මට 'නොතරම්' ය. සමහර ඒවා රූපයක්වත් නැති අකුරු ගොඩකි. (මගේ මේ සටහනත් එසේමය.) නොකියවමි. කලාතුරකින් පමණක් ලිපියක් කියවා කොමෙන්ටුවකුත් දමමි.

මගේ ක්‍රියාකලාපය ගැන මම කල්පනා කරමි.

මම වැරදිය. වැඩි දෙනෙකුට සාපේක්ෂව මම නූගත්ය. නිරපේක්ෂව ද මම නූගත්ය. කියවීමට 'නොතරම්' දෑ නැත. අපි කියවන හැම දෙයින්ම අපි ඉගෙන ගන්නෙමු. සෑම බ්ලොග් සටහනකම ඇත්තේ අළුත් අදහසකි. අප දන්නා දෙයක් වුවද තවත් අයකු වෙනස් ආරකින් දකින විදියකි. කියවන හැම වචනයකින්ම අපි අළුත් දෙයක් ඉගෙන ගන්නෙමු.

A bad workman quarrels with his tools යැයි කියමනක් ඇත. මගේ මේ සටහනම එම වැකියෙන් කියවෙන බව මම සිතමි. ඔබට එය එසේ නොවිය හැකිය. ඔබ සිතන්නේ මට වඩා අමුතු ආකාරයකටය. ලෝකයේ මිනිස්සු විවිධාකාර වෙයි.

අද සිට මම හැකි තරම් බ්ලොග් සටහන් කියවමි.

Thursday, May 13, 2010

බසයේ තවත් එක් දවසක්


මම මරදානෙන් 176 බසයට නගිමි. ගමනාන්තය කොස්වත්ත හන්දියයි. වාඩිවෙන්නට අසුනක් ලැබුණොත් එය ලොකු දෙයකි. එවිට බෑගයේ තිබෙන පොත ගෙන කියවීමට පටන් ගත හැකිය. නමුත් නගින විටම අසුනක් ලැබෙන්නේ කලාතුරකිනි.

බස් රථය ආනන්ද විද්‍යාලය අසල නවත්වයි. මා සිටගෙන සිටින තැන අසුනේ කාන්තාව බැසීමට සැරසෙයි. මා ළඟම සිටගෙන සිටින්නේ කාන්තාවකි. ඇය කෙසේ හෝ හිස්වන අසුනේ වාඩිවීමට උත්සාහ කරයි. සමහරවිට ඇයට වාඩිවීමට මට වඩා අවශ්‍යතාවයක් තිබිය හැකිය. ඇය මවක් විය යුතුය. උදෑසන ගෙදර සියලු වැඩකටයුතු නිමකර දැන් වැඩට යාමට එන්නියක් විය යුතුය. උදෙන්ම නැගිට ආහාර පිළියෙල කර දරුවන් පාසැලට ලෙහෙස්ති කර මරදානට දුම්රියේ හිටගෙන පැමිණ සිටින ඇය සිටින්නේ බොහෝ මහන්සියෙන් විය යුතුය.

මම ඇයට ඉඩ දෙමි. හිට ගෙන ගමන් කිරීම මට ලොකු අපහසුවක් නොවේ. හිට ගෙන යනවිට වීදුරුවෙන් හොඳින් එළිය බැලිය හැකිය. උදේ විවිධ රාජකාරිවලට යන විවිධාකාරයේ මිනිස්සු නිරීක්ෂණය කළ හැකිය. මේ වෙලාව වනවිට පාසැල් පටන් ගෙන ඇතත් පාරේ තැනෙක පාසැල් සිසුවෙක් දකින්නට හැකිය. ඒ පාසල් නොගොස් කට්ටි පැනපු ළමයෙකු දැයි සිතෙයි. මම පාසැල් යන කාලයේ කෙදිනකවත් කට්ටි නොපැනපු බව සිහිවෙයි. ඒ ගැන පොඩි දුකක් ද හිතේ මෝදුවෙයි. සමහරවිට එසේ කට්ටි පැන්නා නම් විශ්වවිද්‍යාලයට නොතේරීමට ඉඩ තිබුණි. ඒ ගැන හිතන විට මුලින් දැණුනු දුක පහව යයි.

මා අසුන දුන් කාන්තාව ඇයට ඉදිරියෙන් වූ අසුනට හිස ගසාගෙන නිදයි. ඇය සිටින්නට ඇත්තේ ලොකු මහන්සියකින් විය යුතුය. අසුන ඇයට දීම ගැන සතුටක් හිතේ මෝදුවෙයි. යමක් ලැබිය යුත්තේ එය වඩාත්ම වුවමනා කරන කෙනාටය.

බසය දැන් බොරැල්ල පසු කරයි. බොරැල්ල බස් නැවතුම්පළ අසල ඇති එතිසලාත් දැන්වීම් පුවරුව දෙස මම හැමදාම බලමි. එහි සිටින තරුණියගේ රුවට මම ඇලුම් කරමි. ඇගේ ඇඳුම ඇයටම ගැළපෙයි. එය ඇයටම මැසූ එකක් විය යුතුය. ඇය ලංකාවේ කෙනෙකුදැයි ද විටෙක සිතෙයි. කෙසේවෙතත් ඇය දැකුම්කළුය. බොහෝ වෙළෙඳ දැන්වීම්වල සිටින තරුණියන්ගේ මෙන් විච්චූරණ ඇති බවක් නොපෙනෙයි.

මේ ගැන හිතමින් යන අතර වාඩිවීමට තිබුණු අවස්ථා කිහිපයක්ම මග හැරුණු බව වැටහෙයි. මෙතැන් සිට මඳක් විමසිල්ලෙන් ගමන් කළ යුතුය. වීදුරුවෙන් එළිය බලනවාක් මෙන්ම මා සිටින බසය ඇතුළත ගැනද විමසිල්ලෙන් පසුවිය යුතුය. කාසල් වීදියෙන් යන බසය ආයුර්වේද හන්දිය අසලට පැමිණෙයි. මා පිටුපස වාඩිවී සිටි අයෙක් බැසීමට නැගී සිටියි. මා ඉන්නා තැනම තවත් මා වැනි කොල්ලෙක් හිටගෙන සිටියි. නමුත් අසුන හිස්වන බව ඔහු දකින්නේ නැත. මම ඉක්මනටම හිස්වූ අසුනට ගොස් වාඩි වෙමි.

වාඩි වුණු විගස  බෑගයෙන් පොත අතට ගමි. එය ස්පාඤ්ඤ බසෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළ නවකතාවකි. දැන් බසයෙන් බසින තුරු පොතේ කියෙවෙන සුන්දර ලෝකයේ ජීවත් විය හැකිය.

Wednesday, May 12, 2010

කෝච්චි තුනක් මිස් වීම හෙවත් මාර දූවරු තිදෙනා


හැමදාම වැඩ ඇරිලා කෝච්චියෙන් ගම්පහට යන්න මම මරදාන් ඉස්ටේසමට එනවා. ඊයෙත් වෙනද වගේ ඉක්මනට ආවෙ හවස හයේ කෝච්චිය අල්ල ගන්න. ඒත් මම දුවගෙන එනකොටම කෝච්චිය ගියා.

එතකොටම ආවා කොටුවට යන කෝච්චියක්. ඒකට නැග්ගේ කොටුවට ගියොත් ඊළඟ කෝච්චියේ වාඩිවෙලා ඒමේ සම්භාවිතාවක් තියෙන නිසා. ඒකෙ නැගල කොටුවට ගිහින් බැස්ස විතරයි ඒ ආපු කෝච්චියට මිනිස්සු හෝ ගාල නැග්ගා. බලන කොට මම කොටුවට ඇවිල්ල තියෙන්නේ ආයෙ අනිත් පැත්තට වේයන්ගොඩට යන කෝච්චියෙ. මදෑ ඒකත් මිස් වුණා. ඒක ස්ලෝ එකක්. ඊළඟට එන ඇක්ස්ප්‍රස් එකේ ගියොත් අරකට කලින් යන්න පුළුවන් නිසා ඇක්ස්ප්‍රස් එක එනකං හිටියා.

ඔන්න ඇක්ස්ප්‍රස් කෝච්චියත් ආවයි කියමුකො. ඒකෙ ඉතින් හිටගෙන තමයි. ඒක අද්දනකං ඉන්න කොට අනිත් පැත්තෙ වේදිකාවෙ තව කෝච්චියක් ගැහුවා මීරිගම කෝච්චියක්. ඒක ස්ලෝ. හොඳටම පරක්කුවෙනවා. ඒත් වාඩිවෙලා යන්න පුළුවන්. ඉතින් මාත් වාඩිවෙලා යෑමේ ආසාවට ඒකට ගොඩවුණා. ඔය විදියට කෝච්චි තුනකම යන්න බැරිවෙලා හතරවෙනි කෝච්චියෙ තමයි ආවෙ.

පස්සෙ ගෙදර ඇවිත් මම මේ කෝච්චි සිද්ධිය විශ්ලේෂණය කරලා නිගමන කීපෙකට ආවා. ඒ අනුව මට කෝච්චි තුන මග ඇරුණේ එකිනෙකට වෙනස් හේතු තුනක් නිසා. ඒ හේතු තුන තමයි:

1. ප්‍රමාදය - වෙලාවට 6ට ආවා නම් පළමුවෙනි කෝච්චිය මිස් වෙන්නේ නැත.
2. නොදැනුවත්කම - මේක ආපහු හරවගෙන යන කෝච්චිය බව දැන සිටියා නම් දෙවෙනි එක මග ඇරෙන්නේද නැත.
3. සැප ගැනීමට ආසාව - වාඩිවී ඒමේ ආසාව නොතිබුණා නම් තුන්වෙනි කෝච්චියේ එන්නට තිබුණි. 

මේ කරුණු තුන අපේ එදිනෙදා ජීවිතවලට අපි හිතනවට වඩා බලපානවා. ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න ගොඩකට හේතුව මේ තුන තමයි. මේ නිසයි මේ තුන් කට්ටුවට මාර දූවරු තුන්දෙනා කියල කිව්වෙ.

කොහොමද මගෙ විශ්ලේෂණය?

Monday, May 3, 2010

ඇක්ස්පීරියන්ස් දැන් පොඩ්ඩක් තියෙන්නේ


තුන්වෙනි කවිය නෙව මම මේ ලියන්නේ
ඇක්ස්පීරියන්ස් දැන් පොඩ්ඩක් තියෙන්නේ
ලියලම තමයි දැන් ප්‍රැක්ටිස් කරන්නේ
කවි ලිය ලියා ඉන්නටමයි හිතෙන්නේ

උබුන්ටුත් අළුත් වෙලුමක් ඇවිත් ඇත
කලින් තිබුණු අවුල් ගොඩක් මේකෙ නැත
ඕපන් සුසේ දාගන්නත් තිබෙයි හිත
අනේ මන්ද තීරණයක් අරං නැත

වැඩ ඇරිලා ඇවිදින් ඇඟ හෝදාම
විස්සෙන් විස්ස මැච් බලනව හැමදාම
ජයවර්ධනත් ගැහුවා සීයක් හේම
ඊළඟ මැච් එකෙත් දිය යුතු වෙයි ගේම

අදහස තිබේ පෝන් එකක් අරගන්න
නැතිවුණ ඇන් සෙවන්ටියටම හරියන්න
මිළ දැක්කහම පේනව නෙව තරු මෙන්න
වන් වන් ඩබල් සීරෝවත් යුතු ගන්න

මේ ඇති අදට ලිව්වා හොඳ රසැති කවී
දැන් නම් ලියවෙනව ටික ටික වැරදි නොවී
ඕනෑ නැහැ ඉතින් දැන් හොඳ ඉදුණු ලොවී
වැටි වැටි ලියමි කවි තව තව දියුණු වෙවී