Friday, July 24, 2009

ගණිත ඔලිම්පියාඩයෙන් ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

මුලින්ම මේ ගණිත ඔලිම්පියාඩය යනු කුමක්දැයි යන්න බොහෝ දෙනෙකුට තවමත් ගැටලුවක් බව පෙනුනු නිසා ඒ ගැන පොඩි හැඳින්වීමක් කිරීමට සිතුවෙමි.
අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩය යනු වයස 20ට අඩු සිසුන් සඳහා වසරකට වරක් පවත්වනු ලබන ශූරතා තරගාවලියකි. මෙම තරගය දින දෙකක් පුරා පැවැත්වෙන අතර එහිදී මෙතෙක් ලොව කුමන තැනකවත් පළවී නොමැති නවතම සහ ඉතා දුෂ්කර ගණිත ගැටලු 6ක් විසඳීමට ඔවුන්ට සිදුවේ. මෙම ගැටලු ගණිතයේ Number theory, Geometry, Algebra සහ Combinatorics යන කොටස්වලට අනුරූපව නිර්මාණය කෙරේ. මේවායින් ලංකාවේ පාසල් පද්ධතියේ යම් තරමකට හෝ උගන්වනු ලබන්නේ ජ්‍යාමිතිය පමණි. එබැවින් මේ සඳහා සිසුන්ට පුහුණු වැඩමුළුවලට සහභාගී වීමට සිදුවේ. මෙම පුහුණු සැසි හා තරග සංවිධානය මූලිකව සිදුවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත දෙපාර්තමේන්තුව සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිත සංගමය මගිනි. මේ සියලු දෙනා එක්තැන් කරන්නෙ ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත පදනම මගින්.

ඔලිම්පියාඩය සඳහා එක් රටකින් සිසුන් 6 දෙනෙකු ඉදිරිපත් කළ හැකිය. ශ්‍රී ලංකාවෙන් මෙවර ඔලිම්පියාඩය නියෝජනය කළ කණ්ඩායමේ ලජානුගන් ලෝගේෂ්වරන් සහ බුද්ධිම රුවන්මිණි ගම්ලත් සිසුවන් දෙදෙනා එයින් ලෝකඩ පදක්කම් දෙකක් ලංකාවට ගෙන ඒමට සමත්විය.



මීට අමතරව දිලීප ප්‍රනාන්දු, තරිඳු වර්ණකුල සහ සංකල්ප ෆොන්සේකා යන සිසුන් විශේෂ සම්මාන (Honourable Mentions) දිනා ගැනීමට සමත්වූහ. විශේෂ සම්මාන ලැබෙන්නේ එක් ගණනක් හෝ කිසිදු අඩුපාඩුවක් නොමැතිව සම්පූර්ණයෙන් විසඳීමටයි. මෙවර ප්‍රශ්නපත්‍රය මෙතැනින් බාගත කරන්න පුළුවන්. ‍මේ ඉන්නෙ ලංකාව නියෝජනය කරපු කණ්ඩායම:

‍රූපෙ වමේ ඉඳල පිළිවෙලට ඉන්නෙ සංකල්ප, ක්‍රිෂාන්තන්, තමීර (උප නායක), ලජානුගන්, ගම්ලත්, චානක්‍ය (නායක), දිලීප සහ වර්ණකුල

මේ අතරින් අපේ කණ්ඩායමේ හිටපු සුපිරිම ක්‍රී‍ඩකය තමයි ලජානුගන්. ලජන්ට රිදී පදක්කම අහිමි වුණේ ලකුණු දෙකකින්. කොහොම වුණත් ලංකාව රිදී පදක්කමක් වෙත මෙච්චර කිට්ටුවට කවදාවත් ඇවිල්ල තිබුණෙ නැහැ. අනික මෙතෙක් ලංකාව හොඳින්ම දස්කම් දැක්වුවේ මේ අවුරුද්දෙදි. (ලකුණු 74ක්) මීට පෙර 2006 දි ස්ලොවේනියාවෙදි ලැබුණෙ ලකුණු 71යි. සමස්ත ප්‍රතිඵලය අනුව ලංකාව ඉන්නෙ රටවල් 104ක් අතරින් 50වැනි ස්ථානයෙ. නෝර්වේ, ස්වීඩන්, ස්පාඤ්ඤය, බංග්ලාදේශය, පකිස්තානය ‍වගේ ගොඩක් රටවල් ඉන්නෙ ලංකාවට පිටුපසින්.
මෙවර සහභාගී වුණු කිසිම කෙනෙකුට ලබන වර කසකස්ථානයේ පැවැත්වෙන ඔලිම්පියාඩයට සහභාගී වෙන්න බැහැ (වයස ප්‍රශ්නය නිසා). ඒත් මේ කාටත් දැන් තියෙන්නෙ එකම අරමුණක්. ඒ මීළඟ අවුරුදුවල දී වත් ලංකාවේ රිදී සහ රන් සිහින සැබෑ කිරීමට ගණිත ඔලිම්පියාඩ් පදනමට උපරිම සහයෝගය ලබාදීම.

ප.ලි. ගමන අතරතුර බ්ලොග් කරනව කියල කිව්වත් විවිධ ප්‍රශ්න නිසා ඒක කරන්න බැරි වුණා. පස්සෙ ගමනෙ රසමුසු තැන් එක්ක පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. අපි ලංකාවට ආවෙ 23 වැනිදා (බ්‍රහස්පතින්දා).

Thursday, July 16, 2009

බ්‍රේමන් සිට

දිගටම බ්ලොග් එකට ලියනව කිව්වට මොකද ඩුබායිවලට පස්සෙ අන්තර්ජාලෙ හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. ඇම්ස්ටර්ඩෑම්වල wifi පාවිච්චි කරන්න විනාඩි 15ට යුරෝ 3ක් ඕන! ඒ කියන්නෙ රුපියල් 500කට කිට්ටුයි. ඉතින් වැඩේ අතෑරලා දැම්මා. මේ සිද්ධිය සාමාන්‍ය දෙයක්. ඩුබායි, හොංකොං වගේ ගුවන්තොටුපොළවල නොමිලේ අන්තර්ජාලය අනිවාර්යයි. අනිත් පහසුකම් අතිනුත් උපරිමයි. ඒත් දියුණු රටවල (USA වගේ) ගුවන්තොටුපොළවල තියෙන පහසුකම් හරිම සීමිතයි. මගීන් තම රටට අද්දා ගැනීමේ වුවමනාවක් ඔවුන්ට නැහැ.



ඔන්න ඊට පස්සෙ කොහොමින් කොහොම හරි බ්‍රේමන්වලට ආවා. අපිට නවතින්න තිබුණේ යාකොබ් විශ්වවිද්‍යාලයේ (Jacobs University). ඒකෙ හොස්ටල් අපේ කැම්පස්වල හොස්ටල් වගේ නෙවෙයි. Room service එකකුත් තිබුණා නම් තරු පහේ හොටෙල් එකක් වගෙයි!
ඉතින් ඔක්කොම විස්තර කිය කිය හිටියොත් පොතක්ම ලියන්න වෙනවා. සැකෙවින් කියනව නම් වැඩකටයුතු සිද්ධ වුණේ මෙහෙමයි.

14 - සමාරම්භක උත්සවය තිබුණා. සියලුම රටවල තරගකරුවන් තමන්ගේ රටවල කොඩි ප්‍රදර්ශනය කරමින් ගමන් කරා. තවම මේවයෙ ෆොටෝ ලැබුණෙ නෑ. ලැබුණු ගමන් අප්ලෝඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.

15 - තරගයේ පළමු දවස අද. තරගකරුවන් ගණන්වල කිමිදිලා ඉන්න වෙලාවේ කණ්ඩායම්වල උප නායකයන්ට (අපිට) බ්‍රේමන් නගරයේ සංචාරයක් සූදානම් කරලා තිබුණා.








බ්‍රේමන් හරිම ලස්සන නගරයක්. ගොඩක් කතා කියන්න තියෙනවා. ඒකට වෙනම පෝස්ට් එකක් ඕන.

අපි ඊට පස්සෙ තරගකරුවන් හමුවෙන්න විභාග මධ්‍යස්ථානයට ගියා. තත්වය හිතපු තරම් නරක නෑ. කට්ටිය හොඳට කරල තිබුණා. ඒත් ඒ තරගයෙ පළමු දවස විතරයි.

16 - අද දෙවැනි දවස. අදත් උදෙන්ම කට්ටිය පිටවෙලා ගියා තරගෙට. ඉතින් අපිට උදේ free. ඒ අතරෙ තමයි මේ wifi spot එක හොයාගත්තෙ.

අපේ කණ්ඩායමේ නායකයා කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ හිටපු අංශ ප්‍රධාන චානක්‍ය විජේරත්න මහතා. සර් අපිට කලින් ජර්මනියට ආවත් අපිට මුලින්ම මෙහෙදි හමුවෙන්නෙ අද. අද හවස ඉඳලා උත්තර පත්තර බලන්න සෙට්වෙනවා. ඒ හින්දා විවේකයක් හම්බ වෙන එකක් නෑ.

මේක බොහොම කලබලෙන් ලිව්වෙ. මොනව ලියවුණාද දන්නෑ. වරදක් වුණා නම් සමාවෙන්න. :-) ප්‍රතිඵල නිකුත් කරන්න පුඵවන් වුණ හැටියෙ ආයිත් ලියන්නම්.

මෙවර ඔලිම්පියාඩ් එක ගැන වැඩිපුර විස්තර ඕනේ නම් මේ අඩවියට යන්න:
www.imo2009.de

Sunday, July 12, 2009

ඩුබායි සිට ලියමි

මේ ලියන්නෙ ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළේ ඉඳන්. අපි මේ ජර්මනියේ පැවැත්වෙන 50වැනි අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයට සහභාගීවෙන්න යන ගමන්. මේක පැවැත්වෙන්නෙ ජර්මනියෙ බ්‍රේමන් නගරයේ. ඉතින් කොළඹ ඉඳල කෙළින්ම ගුවන්යානයක් ගන්න බැහැ. කොළඹින් ඩුබායිවලට ගිහින් එතනින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්වලට ගිහින් එතනින් තමයි බ්‍රේමන් වලට යන්නේ. ඉතින් දිග ගමනක්. ලොකුම අවුල තමයි එයාපෝට්වල පැය ගණන් ඉන්න වෙන එක. ඩුබායිවල ඉඳලයන්න තව පැය 7 1/2ක් ඉන්නවෙනවා!


ඔය අතරෙ අපේ ඉන්ද්‍රනාමත් එක්ක චැට් එකට සෙට් වුණාම තමයි බ්ලොග් එකක් ලියමු කියල කිව්වෙ. ගමන පුරාවටම පෝස්ට් දාන්න තමයි අදහස. ඒත් නෙට් හම්බ වෙන හැටියට තමයි. මෙහෙ ඩුබායිවල නම් free wifi තියෙනවා. ඒ නිසා අවුලක් නැහැ. ඉතින් මාත් ලැප අරගෙන පැත්තකට සෙට් වුණා.


මට ඉතින් free වුණාට ඔලිම්පියාඩයට සහභාගී වෙන අපේ කණ්ඩායමට නම් විවේකයක් නැහැ. ආපු වෙලාවෙ ඉඳන් ගණන් හදනවා. කොහොම හරි මෙදා සැරේ ලංකාවට පදක්කම් කීපයක් ගේන්න තමයි ට්‍රයි එක.


මේ ඉන්නෙ මෙතෙක් ලංකාවෙන් ගණිත ඔලිම්පියාඩය නියෝජනය කරන හොඳම ටීම් එක. ඒ හින්ද වෙනද වගේ ලෝකඩ පදක්කමක් නෙවෙයි, රිදී පදක්කමක් වුණත් ලැබෙන්න හොඳටම ඉඩ තියෙනවා.

දැන් බැටරි බහින්න එන්නේ. 230V සොකට් එකක් හොයා ගත්තොත් ගොඩ. මෙතනින් නවතිමි.
කෂ්ටියට එනකොට මොනවහරි ගේන්න ඕන නම් කියන්න. හැබැයි අතේ සල්ලි නැහැ. ටොපි චොකලට් තමයි ඉතින්. :-)

Tuesday, July 7, 2009

ගණන් හදන්න ආ පූසා සහ තවත් කතා


කාලෙකින් ‍බ්ලොග් එකක් ලියන්නත් බැරිවුණා. මේ දවස්වල IMO training camp එකේ බරට වැඩ. හෙල්ලෙන්නවත් විදියක් නෑ.
ගණිත ගැටලු අතරේ හිරවෙලා ඉන්න අතරේ අළුත් අමුත්තෙක් camp එකට එකතු වුණා. නම ඉමෝ (IMO නිසා තමයි නම දැම්මේ). කාත් කවුරුවත් නැතිව මහරගම NIE එකේ වැටිල ඉන්නකොට තමයි අපිට හම්බ වෙලා කාමරේට ගෙනාවෙ.








අපිත් ඉතින් ඉන්න ගමන් පොඩි ආතල් එකක් ගන්නත් කියලා නෙට් එකෙන් පූසන්ගෙ සද්ද ටිකක් හොයාගෙන ලැපේ play කරා. තනියම හිටපු ඉමෝ පූසෙක්ගෙ හඬ ඇහුණු ගමන් හැසිරුණේ මෙන්න මේ විදියට.



හොයල හොයල බැරිම තැන ඉමෝ ආයිත් ගිහිල්ල හරි බරි ගැහිල නිදාගත්තා. කොහොමහරි කාත් කවුරුවත් නැතුව වැටිල හිටපු පූසා ඔන්න අන්තර්ජාලෙටත් ආවා!

මේ ඉන්නෙ මෙදා සැරේ ජර්මනියෙ පැවැත්වෙන ගණිත ඔලිම්පියාඩ‍යේ ලංකාව නියෝජනය කරන කණ්ඩායම.

රූපෙ වමේ ඉඳල පිළිවෙලට ඉන්නෙ වර්ණකුල, ලජානුගන්, ක්‍රිෂාන්තන්, දිලීප, ගම්ලත් සහ ඉමෝ. සංකල්ප පින්තූරෙ නෑ.
හෙටින් (ජූලි 8) camp එක ඉවරයි. කට්ටිය දැන් කල්පනා කර කර ඉන්නෙ හෙටින් පස්සෙ ඉමෝගෙ කලදසාව ගැන. බාර ගන්න කැමති කවුරුහරි ඉන්නව නම් වහාම අමතන්න. :-)