Thursday, September 1, 2011

¿ඔයා ගෙදර යනවා?



ස්පාඤ්ඤ කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම භාෂාවක්. ස්පාඤ්ඤ භාෂාවෙ පාවිච්චි වෙනව අපවර්තිත ප්‍රශ්නාර්ථ ලකුණු සහ ප්‍රාර්ථනා ලකුණු. මේකට හේතුව සාමාන්‍ය ස්පාඤ්ඤ වාක්‍යයක් දුටු ගමන් ඒක ප්‍රශ්නයක් ද නැද්ද කියල කියන්න බැරි කම.

උදාහරණයක් විදියට,

 Hablas espanol = ඔබ ස්පාඤ්ඤ කතා කරනවා
¿Hablas espanol? = ඔබ ස්පාඤ්ඤ කතා කරනවද?

 වාක්‍යයෙ මුල තියෙන අපවර්තිත (inverted) ප්‍රශ්නාර්ථ ලකුණින් මේ ඊළඟට තියෙන වාක්‍යය ප්‍රශ්නයක් බව කියවන්නාට දැනුම් දෙනව. අපවර්තිත ප්‍රාර්ථනා ලකුණු යොදන්නෙත් මේ සමාන හේතුවක් නිසා.
¡buenos dias! = සුභ උදෑසනක්!

 ගොඩක් ඉස්සර ස්පාඤ්ඤ භාෂාවෙ මේ අපවර්තිත ලකුණු තිබිල නැහැ. 1754 දි තමයි මුලින්ම ලිවීමෙදි මේ ලකුණු යොදාගත යුතුයි කියල සම්මත වෙලා තියෙන්නෙ. දැන් නම් හැම තැනදිම අපවර්තිත ප්‍රශ්නාර්ථ සහ ප්‍රාර්ථනා ලකුණු පාවිච්චි වෙනව.

සිංහල භාෂාවෙ මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රශ්නාර්ථය ගන්න 'ද' යන්නක් යෙදෙන නිසා. උදා: කනව ද? බොනව ද?

හැබැයි සමහර පැති වල කස්ටිය කතා කරද්දි මේ 'ද' යන්න පාවිච්චි කරන්නෙ නැහැ. ඔයා ගෙදර යනවා? ඔයා බත් කෑවා? වගේ කතා කරන අය අපි අතරෙ ඉන්නව. කවුරුත් මේ විදියට කතා කරන්න ගියොත් තව ටික දවසකින් සිංහලවලටත් අපවර්තිත ප්‍රශ්නාර්ථ ලකුණු එකතු කරන්න වේවි.

¿ඔයා මේ බ්ලොග් එක කියෙව්වා?
¿දැන් එහෙනම් කොමෙන්ට් එකකුත් දැම්මා?

[මෙය හුදෙක් නිවාඩු කැඩීමටම ලියූ ලිපියක් නොවන බව කරුණාවෙන් සළකන්න]

Friday, March 11, 2011

ගූගල් ක්‍රෝම් සඳහා සිංග්‍රීසි

සිංග්‍රීසි කියන්නෙ අළුත් ගූගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක්. කලින් තිබුණු සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකයෙන් වගේම මේකෙනුත් කරන්නෙ සිංග්‍රීසියෙන් අපි ටයිප් කරන වචන සිංහල යුනිකෝඩ්වලට හරවන එක. අළුත් එක්ස්ටෙන්ෂන් එකට ලිනක්ස්, වින්ඩෝස්, මැක් ඕන මෙහෙයුම් පද්ධතියක ක්‍රෝම් එක්ක වැඩකරන්න පුළුවන්. මේ තියෙන්නෙ ස්ක්‍රීන්ෂොට් එකක්:

singreesi


ක්‍රෝම් API එකෙන් clipboard එක පාවිච්චි කරන්න දෙන්නෙ නැති නිසා සිංහල අකුරු ටික කොපි කරගන්න Select ඔබල Ctrl+C වගේ විධානයකින් කොපි  කරගන්න ඕන. අනිත් එක තමයි ටු, රෑ වගේ අකුරු කීපයක් ටයිප් කරන කොට විකාර සංකේත වගයක් එනවා. තාම බග් එක මොකක්ද කියල හොයාගන්න බැරිවුණා. පුළුවන් තරම් ඉක්මනින් නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා.

තාම මේක පටන්ගත්ත විතරයි. අළුතෙන් එකතු කරන්න පුළුවන් දෙයක් මතක් වුණොත් කියන්න අමතක කරන්න එපා.

මෙතනින් බාගන්න. 

Wednesday, January 26, 2011

තමීර සමග පිළිසඳරක්


තමීර සේනානායක නමැති කඩවසම් බ්ලොග්කරුවා ගැන ඔබට අමුතුවෙන් විස්තර කළයුතු නැහැ. අද අපේ පිළිසඳර තමීර එක්ක.

තමීර මොකද මේ දවස්වල, බ්ලොග්කරණය අමතක වෙලාද?
අපෝ නැහැ, ළඟදි මේ පොඩි එක්සෑම් එකක් එනව. ඒකට පාඩම් කරන නිසා පොඩ්ඩකට බ්ලොග් ලිවිල්ලෙන් ඈත් වුණා. ඉවරවුණ ගමන් ආයි එනව.

හැබැයි ඉංග්‍රීසි බ්ලොග් එකේ නම් නිතරම ලියනව නේද?
ඔව්, ඒක ඉතින් මයික්‍රොබ්ලොග් එකනෙ. පොඩ්ඩ පොඩ්ඩ ඉඳල හිටල ලියනව. ට්විටර් එකේ නම් නිතරම ඉන්නව.

දැන් සිංහල බ්ලොග් වැහි වැහැල. මේ ගැන තමීර දරන අදහස මොකක්ද?
නවකයන් බ්ලොග්කරණයට යොමුවන එක ගැන ඉතින් සතුටු වෙන්න ඕන. වඩා වැදගත් වෙන්නෙ වල්පල්වලට වඩා වැදගත් කරුණු ලියන එක. මට පේන විදියට ගොඩක් අය කරන්නෙ නිකං තමන් ගැන බ්ලොග් එකේ ලියන එක. තමන් ගැන ලියල කාටද වැඩක් වෙන්නෙ?

ඒක ඇත්ත. සින්ඩිත් දැන් වැහි වැහැල නේද?
ඔව්, හතු පිපෙන්න වගේ සින්ඩි එන්න පටන් ගත්තු කාලයක් තිබුණා. දැන් නම් කස්ටියට සින්ඩි හදන්න එච්චර උනන්දුවක් නෑ වගේ.

තමීර වගේ අත්දැකීම් බහුල බ්ලොග්කරුවන් බ්ලොග්කරණයෙන් ඈත්වීමේ ප්‍රවණතාවයක් තියෙනව කිව්වොත්?
මම අත්දැකීම් බහුල කෙනෙක් නෙවෙයි. ඒත් ඔබ කියන කතාව ඇත්ත. ගොඩක් පරණ බ්ලොග්කරුවන්ගෙ ලිවිල්ල අඩාල වෙලා කියල දකින්න තියෙනව. ගොඩක් දුරට විභාග වගේ දේවල් තමයි මං හිතන්නෙ මේකට හේතුව. හැබැයි ලියන අය ඉතින් දිගටම ලියනව.

හොඳයි, අවසාන වශයෙන් අහන්නෙ, දැන් තමීරට පෙම්වතියක් එහෙම නැද්ද?
ඒවට ඉතින් කල් තියෙනවනෙ, නැද්ද. ;)