Thursday, December 31, 2009

සුබ නව වසරක්!

tweety
කවුරුත් මේ දවස්වල පහුගියපු 2009 ගැන බ්ලොග්වල ලියනව. සමහරුන්ට මේ අවුරුද්ද සතුටුදායක සිදුවීම්වලින් පිරිලා. ඒත් තවත් සමහරුන්ට නම් සතුටට වඩා දුක උරුමවෙච්ච අවුරුද්දක් මේක.

ඒත් ඉතින් මැරෙන්න යනකොට කරපු පින් ගැන විතරක් කල්පනා කරන්න කියනවනෙ. මේ අවුරුද්දෙ මම නම් පැනපු ලොකුම පිම්ම තමයි මේ බ්ලොග් එක පටන්ගැනීම. තව මොනවද? ට්විටරයට සම්බන්ධ වුණු එක, ජර්මනියෙ පැවති 50වැනි ගණිත ඔලිම්පියාඩය, සිංග්‍රීසි, තනිකරම උබුන්ටුවලට මාරුවීම, ඉන්දියාවෙ අම්රිතාපූරිහි පැවැත්වුණු acm ICPC තරගාවලිය, සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම... මේ කීපයක් විතරයි. ෂහ්, මාර ෆන් අවුරුද්දක්නෙ! මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ තිබුණු අවුරුදුවලින් චාටර්ම එක කියල. ආ, ඒ අතරෙ සෙනසුරත් මාරුවුණා නෙව.

කස්ටියට කියන්නත් බැරිවුණා අළුතෙන් පටන් ගත්තු Bash In Action බ්ලොග් එක ගැන. තාම පටන් ගත්ත විතරයි. හොඳ හොඳ වැඩ ඉස්සරහට.

ඔන්න ඉතින් කාටත් ඇකඩමික් වැඩ අඩු, ආදරයටත් ඉඩක් ලැබෙන, කෝස්වර්ක් වෙලාවට කරල ඉවර කරන, ප්‍රැක්ටිකල් කට් නොවෙන, ආදී වශයෙන් සියලු පැතුම් ඉටුවන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

Sunday, December 20, 2009

බ්ලොග් මිතුරන්ගේ හමුවීම


2009 දෙසැම්බර් 19. මාස ගාණක් ඇඟිලි ගැණ ගැණ හිටපු දවසක් උදා වුණා. උදෙන්ම නැගිටල ලෑස්ති වුණේ සිංහල බ්ලොග්කරුවන්ගෙ හමුවීමට යන්න. බස් එකේදි කොල්ලුපිටියට ටිකට් ගත්තත් ඒකෙන් කොටුවටම ගියේ කණියාත් සෙට්වෙනවා කියපු නිසා. ඊට පස්සෙ දෙන්නත් එක්ක 120සෙ නැගල ඇවිත් බොහොම අමාරුවෙන් එක්සෙල් ලෝකය හොයාගත්ත. එතකොට ධනිකත් ඇවිල්ල ඉඳල අපිත් එක්ක සෙට් වුණා.

එතකොටත් 20ක් 25ක් විතර ඇවිල්ල හිටියෙ. කාලිංග අයියත් ලොක්ක වගේ ඇවිද ඇවිද හිටියා. කොහොමින් කොහොම හරි 11.30 විතර වෙන කොට කට්ටියත් ඇවිල්ලා වැඩේ පටන් ගත්තා. මුලින්ම කළේ කවුරුත් තම තමන්ව අඳුන්ව ගත්තු එක. අක්කණ්ඩි, කතන්දරකාරයා, සියදෝරිස් වගේ අන්වර්ථ නම් වලින් විතරක් දැනගෙන හිටපු අයත් මුල්ම වතාවට දැක ගන්න ලැබුණා.

දසුන් සමීර යුනිකෝඩ් ගැන කියමින්

ඊට පස්සෙ කාලිංග අයියා ටිකක් කතා කරලා දසුන් සමීර අයියත් යුනිකෝඩ් ගැන දේශනයක් දුන්නට පස්සෙ තමයි කවුරුත් මග බල බලා හිටිය අවස්ථාව උදා වුණේ. මෙච්චර දවස් බ්ලොග්වලින්, ට්විටරෙන්, චැට් එකෙන් විතරක් අඳුරගෙන තිබුණු යාලුවො ඇත්තටම හම්බවෙලා කතා කරන්න.

මෙයානෙ මේ ශාකුන්තල කියන්නෙ

කවුරුත් එක්ක කතා කරන කං ඉවසන්න බැරුව හිටියෙ. ගොඩක් අය පොටෝවල දැකල තිබුණත් එක සැරේට අඳුර ගන්නත් බැරිවුණා. බ්ලොග්වල එහෙම ලොකු ලොකු කතා කියන ගොඩක් අය බොහොම සුහදව කතා කරා. කවුරුත් එකම පවුලක වගේ.

ඊට පස්සෙ ආවෙ දවල්ට කෑම කන වෙලාව. කෑම තෝරගන්න බැරුව විඳපු දුකක්. තියෙන කෑමවල නම් දන්නෙත් නෑ. ඒවයෙ ගණනුත් මාරු කාසිවලින් ගෙවන්න අමාරුයිනෙ! දීප්ගෙ ගාණෙ කන්න හිටියට කොහෙද? පාටියක් දෙන්න කවුරුවත් නෑ. ඉතින් පර්ස් එකෙන් අමාරුවෙන් සීයෙ කොළ දෙකකුත් හොයාගෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. ගයාන් තාරක තමයි කෑම ඕඩර් කරේ.

කෑම තෝරගන්න බැරුව: දර්ශන, දීප්ස්, ගයන්ත, අරවින්ද, තමීර

ගයාන් තාරක කට්ටියටම කෑම අරන් දෙමින්

කන ගමනුත් කාල ඉවරවෙලත් ඉවරයක් නැතුව කතා කර කර හිටියෙ. පොටෝ ගන්නත් එපැයි.

ශාකුන්තල, ධනික, තමීර, ගයාන් තාරක, දීප්ස්. උඩින් ඉන්නෙ කවිරංග, කණිෂ්ක, උදාර (රජරට පුත්‍රයා)

තමීර, කණිෂ්ක, සුදාරක, ඉන්දරේ, කණියා, ධනික

කට්ටිය අන්තිමට ගෲප් පොටෝ එකකුත් ගත්තා. ලොකු කරල බලන්න රූපෙ උඩ ක්ලික් කරන්න

ඔය හාට් එකක ලකුණක් තියෙන සුදු පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්නෙ කතන්දරකාරයා. ඒකෙ ලියල තියෙන්නෙ I love kathandara.blogspot.com කියල. කාලිංග අයිය අත දා ගෙන ඉන්න කෙනා කවුද කියල හිතා ගන්න ඇහැකිනෙ. ඒ දෙන්නට පිටිපස්සෙන් ඉන්නෙ අක්කණ්ඩි. ඊටත් පිටිපස්සෙන් නිල්පාට ටී ෂර්ට් එක මුචලින්ද. ඔහොම කියාගෙන ගියොත් ඉවරයක් වෙන්නෙ නැහැ.

ගොඩක් එන්න හිටපු අයට එදා එන්න බැරිවුණා. ඒත් ඊළඟ සැරේ මීටිමට නම් එන්න බැරිවෙලා මෙඩිකල් එකක් ඉදිරිපත් කරන්න බැරිවුණොත් සංගමෙන් නෙරපා හරින්න තීරණයක් ගන්න ඕන. එතකොට කවුරුත් ඒවිනෙ. ඊළඟ මීටිමට බිංකුවා ස්පොන්සර් කරනවා කියලත් කතාවක් තියෙනවා. ඇත්තද දන්නෙ නෑ.

(මේ දාල තියෙන පොටෝ එකක්වත් මම ගත්තුවා නෙවෙයි. ගයන්ත, ඉන්දරේ, රවිමල් මූණුපොතට දාපුවා. අන්තිම ගෲප් පොටෝ එක ගත්තෙ ලිෂ්විෂ් නොහොත් ලිෂාන්)