Thursday, December 31, 2009

සුබ නව වසරක්!

tweety
කවුරුත් මේ දවස්වල පහුගියපු 2009 ගැන බ්ලොග්වල ලියනව. සමහරුන්ට මේ අවුරුද්ද සතුටුදායක සිදුවීම්වලින් පිරිලා. ඒත් තවත් සමහරුන්ට නම් සතුටට වඩා දුක උරුමවෙච්ච අවුරුද්දක් මේක.

ඒත් ඉතින් මැරෙන්න යනකොට කරපු පින් ගැන විතරක් කල්පනා කරන්න කියනවනෙ. මේ අවුරුද්දෙ මම නම් පැනපු ලොකුම පිම්ම තමයි මේ බ්ලොග් එක පටන්ගැනීම. තව මොනවද? ට්විටරයට සම්බන්ධ වුණු එක, ජර්මනියෙ පැවති 50වැනි ගණිත ඔලිම්පියාඩය, සිංග්‍රීසි, තනිකරම උබුන්ටුවලට මාරුවීම, ඉන්දියාවෙ අම්රිතාපූරිහි පැවැත්වුණු acm ICPC තරගාවලිය, සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම... මේ කීපයක් විතරයි. ෂහ්, මාර ෆන් අවුරුද්දක්නෙ! මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ තිබුණු අවුරුදුවලින් චාටර්ම එක කියල. ආ, ඒ අතරෙ සෙනසුරත් මාරුවුණා නෙව.

කස්ටියට කියන්නත් බැරිවුණා අළුතෙන් පටන් ගත්තු Bash In Action බ්ලොග් එක ගැන. තාම පටන් ගත්ත විතරයි. හොඳ හොඳ වැඩ ඉස්සරහට.

ඔන්න ඉතින් කාටත් ඇකඩමික් වැඩ අඩු, ආදරයටත් ඉඩක් ලැබෙන, කෝස්වර්ක් වෙලාවට කරල ඉවර කරන, ප්‍රැක්ටිකල් කට් නොවෙන, ආදී වශයෙන් සියලු පැතුම් ඉටුවන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

Sunday, December 20, 2009

බ්ලොග් මිතුරන්ගේ හමුවීම


2009 දෙසැම්බර් 19. මාස ගාණක් ඇඟිලි ගැණ ගැණ හිටපු දවසක් උදා වුණා. උදෙන්ම නැගිටල ලෑස්ති වුණේ සිංහල බ්ලොග්කරුවන්ගෙ හමුවීමට යන්න. බස් එකේදි කොල්ලුපිටියට ටිකට් ගත්තත් ඒකෙන් කොටුවටම ගියේ කණියාත් සෙට්වෙනවා කියපු නිසා. ඊට පස්සෙ දෙන්නත් එක්ක 120සෙ නැගල ඇවිත් බොහොම අමාරුවෙන් එක්සෙල් ලෝකය හොයාගත්ත. එතකොට ධනිකත් ඇවිල්ල ඉඳල අපිත් එක්ක සෙට් වුණා.

එතකොටත් 20ක් 25ක් විතර ඇවිල්ල හිටියෙ. කාලිංග අයියත් ලොක්ක වගේ ඇවිද ඇවිද හිටියා. කොහොමින් කොහොම හරි 11.30 විතර වෙන කොට කට්ටියත් ඇවිල්ලා වැඩේ පටන් ගත්තා. මුලින්ම කළේ කවුරුත් තම තමන්ව අඳුන්ව ගත්තු එක. අක්කණ්ඩි, කතන්දරකාරයා, සියදෝරිස් වගේ අන්වර්ථ නම් වලින් විතරක් දැනගෙන හිටපු අයත් මුල්ම වතාවට දැක ගන්න ලැබුණා.

දසුන් සමීර යුනිකෝඩ් ගැන කියමින්

ඊට පස්සෙ කාලිංග අයියා ටිකක් කතා කරලා දසුන් සමීර අයියත් යුනිකෝඩ් ගැන දේශනයක් දුන්නට පස්සෙ තමයි කවුරුත් මග බල බලා හිටිය අවස්ථාව උදා වුණේ. මෙච්චර දවස් බ්ලොග්වලින්, ට්විටරෙන්, චැට් එකෙන් විතරක් අඳුරගෙන තිබුණු යාලුවො ඇත්තටම හම්බවෙලා කතා කරන්න.

මෙයානෙ මේ ශාකුන්තල කියන්නෙ

කවුරුත් එක්ක කතා කරන කං ඉවසන්න බැරුව හිටියෙ. ගොඩක් අය පොටෝවල දැකල තිබුණත් එක සැරේට අඳුර ගන්නත් බැරිවුණා. බ්ලොග්වල එහෙම ලොකු ලොකු කතා කියන ගොඩක් අය බොහොම සුහදව කතා කරා. කවුරුත් එකම පවුලක වගේ.

ඊට පස්සෙ ආවෙ දවල්ට කෑම කන වෙලාව. කෑම තෝරගන්න බැරුව විඳපු දුකක්. තියෙන කෑමවල නම් දන්නෙත් නෑ. ඒවයෙ ගණනුත් මාරු කාසිවලින් ගෙවන්න අමාරුයිනෙ! දීප්ගෙ ගාණෙ කන්න හිටියට කොහෙද? පාටියක් දෙන්න කවුරුවත් නෑ. ඉතින් පර්ස් එකෙන් අමාරුවෙන් සීයෙ කොළ දෙකකුත් හොයාගෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. ගයාන් තාරක තමයි කෑම ඕඩර් කරේ.

කෑම තෝරගන්න බැරුව: දර්ශන, දීප්ස්, ගයන්ත, අරවින්ද, තමීර

ගයාන් තාරක කට්ටියටම කෑම අරන් දෙමින්

කන ගමනුත් කාල ඉවරවෙලත් ඉවරයක් නැතුව කතා කර කර හිටියෙ. පොටෝ ගන්නත් එපැයි.

ශාකුන්තල, ධනික, තමීර, ගයාන් තාරක, දීප්ස්. උඩින් ඉන්නෙ කවිරංග, කණිෂ්ක, උදාර (රජරට පුත්‍රයා)

තමීර, කණිෂ්ක, සුදාරක, ඉන්දරේ, කණියා, ධනික

කට්ටිය අන්තිමට ගෲප් පොටෝ එකකුත් ගත්තා. ලොකු කරල බලන්න රූපෙ උඩ ක්ලික් කරන්න

ඔය හාට් එකක ලකුණක් තියෙන සුදු පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්නෙ කතන්දරකාරයා. ඒකෙ ලියල තියෙන්නෙ I love kathandara.blogspot.com කියල. කාලිංග අයිය අත දා ගෙන ඉන්න කෙනා කවුද කියල හිතා ගන්න ඇහැකිනෙ. ඒ දෙන්නට පිටිපස්සෙන් ඉන්නෙ අක්කණ්ඩි. ඊටත් පිටිපස්සෙන් නිල්පාට ටී ෂර්ට් එක මුචලින්ද. ඔහොම කියාගෙන ගියොත් ඉවරයක් වෙන්නෙ නැහැ.

ගොඩක් එන්න හිටපු අයට එදා එන්න බැරිවුණා. ඒත් ඊළඟ සැරේ මීටිමට නම් එන්න බැරිවෙලා මෙඩිකල් එකක් ඉදිරිපත් කරන්න බැරිවුණොත් සංගමෙන් නෙරපා හරින්න තීරණයක් ගන්න ඕන. එතකොට කවුරුත් ඒවිනෙ. ඊළඟ මීටිමට බිංකුවා ස්පොන්සර් කරනවා කියලත් කතාවක් තියෙනවා. ඇත්තද දන්නෙ නෑ.

(මේ දාල තියෙන පොටෝ එකක්වත් මම ගත්තුවා නෙවෙයි. ගයන්ත, ඉන්දරේ, රවිමල් මූණුපොතට දාපුවා. අන්තිම ගෲප් පොටෝ එක ගත්තෙ ලිෂ්විෂ් නොහොත් ලිෂාන්)

Tuesday, November 24, 2009

යූ නළයට වීඩියෝ ටයිම්ලයින් එකක්

යූ නළයෙ වීඩියෝ එකක් බලද්දි එන ලොකු ප්‍රශ්නයක් තමයි වීඩියෝ එක බලන්න කලින්. ඇත්තටම වීඩියෝ එකේ තියෙන්නෙ අපිට ඕන දේද කියල බලා ගන්න බැරි කම. ඒක බාගන්නව නම් ඊට කලින් ටික දුරක් ප්ලේ කරල බලන්නම වෙනව. අනික අතර මගදි පොඩිහිටියන්ට නුසුදුසු දේවල් තියෙද කියල දන්නෙ නැහැනෙ. අනිත් එක තමයි අපි වගේ ලිමිටඩ් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන අය වීඩියෝ open කරන්නෙ හරිම පරෙස්සමෙන්. Open කරන්න යන වීඩියෝ එක හරියටම මොකක්ද දන්නෙ නැත්තං open කරම්දෝ නොකරම්දෝ කියල හිත හිත ඉන්නත් වෙනව. :)

මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න දැන් Firefox addon එකක් සමත්වෙලා තියෙනවා. නමින් VideoSurf. මෙතනින් බාගන්න පුළුවන්.

දාගත්තට පස්සෙ යූනලයෙදි විතරක් නෙවෙයි, ගූගල් සෙවුමෙදි වගේම ට්විටරයෙදි පවා වීඩියෝවල preview එක timeline එකක් විදියට පෙන්නනවා. මෙන්න මේක දැම්මට පස්සෙ යූනලයෙ තිර සටහනක්:



ඒ විතරක් නෙවෙයි වීඩියෝ එකක් බලන කොටත් ඊට යටින් පෙන්නන timeline එකෙන් වීඩියෝ එකේ ඒ ඒ තැන්වලට ලේසියෙන් පනින්න පුළුවන්. Addon preferences වලින් අනවශ්‍ය අඩවිවල Videosurf අබල කිරීම, පොඩිහිටියන්ට තහනම් විදියේ වීඩියෝ සැඟවීම වගේ දේවල් කරන්නත් පුළුවන්.

Sunday, November 15, 2009

Karmic Koala සමග GRUB 2


මාසෙකට විතර පස්සෙ ඔන්න ආයෙත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ආවා. (ඕක ඉතින් හැමදාම කියන කතාවනෙ)
ඉඳල ඉඳල ඊයෙ තමයි අළුතෙන් ආපු උබුන්ටු 9.10 (Karmic Koala) දාගත්තෙ. මෙච්චර දවස් පරක්කු වුණේ ලැපේ CD drive එක වැඩ කරන්නෙ නැති හින්දම නෙවෙයි, උනන්දුවක් නැති කම නිසා. CD එකෙන් බැරි නිසා 1GB pen එක startup disk එකක් විදියට හදාගෙන තමයි install කළේ. 9.04 උඩ upgrade කරන්න ගියෙ නැහැ. එක හේතුවක් එහෙම කළාම sound එහෙම අල වීම. කොහොමත් ඉතින් පරණ එක උඩ දානවට වඩා අලුතෙන්ම දැම්මම නැවුම් බව වැඩියි.
9.04ට වඩා වෙනස්කම් කීපයක්ම මුල්ම වතාවේ දකින්න තිබුණා. එකක් තමයි අලුත් Ubuntu Software Center එක. Pidgin chat client එක වෙනුවට Empathy ඇවිත්. Input method එක දැන් SCIM නෙවෙයි. IBus කියල එකක්. සිංහලට මාරුවෙන එක දැන් ගොඩක් ලේසියි. අනෙක කලින් වගේ අමාරුවෙන් සිංහල install කරන්න ඕනත් නැහැ. මේ ගැන හොඳ ලිපියක් බුධාජීවගේ ලියමනේ තියෙනවා.

අළුත් Software center එක


දැකපු තව ලොකු වෙනසක් තමයි පරණ GRUB එක වෙනුවට අළුත් GRUB 2 මෙනුව ඇවිල්ල තියෙන බව. /boot/grub ඩිරෙක්ටරියට ගිහිල්ල බැලුවම menu.lst කියල ෆයිල් එකක් නැහැ. ඉතින් ඉක්මනටම ගූගල් සරණං ගච්ඡාමි කියල හොයල බැලුව මේ ගැන. බලන කොට Grub 2 පරණ එකට වඩා ගොඩක් වෙනස්.
මුලින්ම menu.lst වෙනුවට තියෙන්නෙ grub.cfg කියල එකක්. නමුත් මේක edit කරන්න එපා කියල උඩින්ම ලියල තියෙනවා. ඒ වෙනුවට edit කරන්න පුළුවන් ප්‍රධාන file දෙකක් තියෙනවා. එකක් තමයි /etc/default/grub. මේකෙන් කරන්න පුළුවන් වැඩවලින් වැඩියෙන්ම මගේ හිත ගත්තෙ GRUB මෙනුවේ resolution එක වෙනස් කරන්න පුළුවන් #GRUB_GFXMODE=640x480 පේළිය. මේකෙ # ලකුණ ඉවත් කරල 640x480 වෙනුවට අපේ මොනිටරේ සාමාන්‍ය resolution එක දෙන්න පුළුවන්.
Edit කරන්න පුළුවන් අනිත් ප්‍රධානම ගොනුව තමයි /etc/grub.d/ ඩිරෙක්ටරියෙ තියෙන 05_debian_theme කියන ෆයිල් එක. මේකෙන් තමයි මෙනුවේ වර්ණ සැකසුම් වෙනස්කරන එක පසුබිම් රූපයක් යෙදීම වගේ දේවල් කරන්නෙ. හොඳම ප්‍රවෘත්තිය තමයි දැන් පසුබිමට රූපයක් දාන්න කලින් වගේ .xpm.gz file හද හද ඉන්න ඕන නෑ. කෙලින්ම png file එකක් දෙන්න පුළුවන්. මේ ඔක්කොම කරන හැටි ගැන හොඳ විස්තරයක් මෙතන (කඩ්ඩෙන්) තියෙනවා.

තාමත් karmic koalaට මාරු වෙලා නැත්නම් ඉක්මනටම මාරුවෙන්න.

ප.ලි.
මේ ඔක්කොම කරල ඉවර වෙලා sudo update-grub කියල ගහල grub එක update කරන්න ඕන. නැත්තං මේ කියපුව වැඩ කරන්නේ නැත.

Wednesday, October 21, 2009

කුරුල්ලන්ට ගී හදන්න


අපි ගොඩදෙනෙක් අහල නැති ලොකු තේරුමක් තියෙන සින්දුවක්.
MP3 ගොනුව මෙතැනින් (2.8 MB) බාගන්න

කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී...

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හන්දා

කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණා

ගායනය - වික්ටර් රත්නායක

Saturday, October 10, 2009

APT එක්ක හරඹ කරමු


ලිනක්ස් ටිකක් අතපත ගාල තියෙනම් (Ubuntu, Debian, Knoppix වගේ Debian-based ලිනක්ස් සංස්කරණ) apt-get කියන වචනෙ නුහුරු වෙන්න විදියක් නෑ. idea උබුන්ටු ටර්මිනල් එකෙන් අළුත් මෘදුකාංගයක් ස්ථාපනය කරනකොට පාවිච්චි කරන්නෙ මේ sudo apt-get install කියන විධානයනෙ. නොදන්න අයට දැනගන්නත්, දන්න අයට මතක් වෙන්නත් මේ APT ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා.


APT කියන්නෙ Advanced Packaging Tool කියන එක. ඉස්සර මෘදුකාංගයක් ස්ථාපනය කරන්න ඕන වුණාම ඒකෙ ප්‍රභව කේතය (source code) බාගෙන ඒක කොම්පයිල් කරල අවශ්‍ය අමතර පැකේජ (dependencies) තියෙනම් ඒවත් බාගෙන ලොකු ගේමක් දෙන්න වුණා (ලු lol). ඉතින් මේකට විසඳුමක් විදියට තමන්ට අවශ්‍ය පැකේජ ඉබේම හොයල දීල ඉබේම ස්ථාපනය කරල දෙන ක්‍රමයක් විදියට තමයි APT බිහිවෙලා තියෙන්නෙ. මේක වැඩ කරන්නෙ අර මුලින් කියපු වගේ Debian මත ගොඩනගපු ලිනක්ස් සංස්කරණවල විතරයි.

කතා ඇති, දැන් ටර්මිනල් එකක් එහෙම ඇරගෙන වැඩට බහිමු.
හිතමු අපිට ට්විටර් පාවිච්චි කරන්න අවශ්‍ය මෘදුකාංගයක් දාගන්න ඕන වුණා කියලා. මුලින්ම අපි apt-cache search මගින් හොයන්න ඕන ට්විටර් සම්බන්ධයෙන් දැනට තියෙන මෘදුකාංග මොනවද කියල, මෙන්න මෙහෙම:

$ apt-cache search twitter



එතකොට ට්විටර් සම්බන්ධෙයන් තියෙන මෘදුකාංග එකක් නෙමෙයි කීපයක්ම පෙන්නනවා. (තව උදාහරණයක් විදියට video conversion tool එකක් ඕන නම් apt-cache search video converter වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්). දැන් මේවයින් මොකක් හරි එකක් ගැන විස්තර දැනගන්න ඕන නම් apt-cache show විධානය පාවිච්චි කරන්න, මෙන්න මේ විදියට:

$ apt-cache show gwibber


මේ විදියට විධානය දුන්නම අවශ්‍ය පැකේජය (මේ උදාහරණෙදි නම් gwibber) ගැන වැඩිදුර විස්තර බලාගන්න පුළුවන්. විශේෂයෙන් බාගැනීමට අවශ්‍ය ගොනුවල ප්‍රමාණය එහෙම එතන කියල තියෙනවා.

දැන් මේ විදියට තෝරලා තමන්ට ස්ථාපනය කරන්න අවශ්‍ය වැඩසටහන හොයාගත්තට පස්සෙ apt-get install මගින් ස්ථාපනය කරගන්න පුළුවන්. හැබැයි මෙතනදි අපිට "විධායක බලතල" ඕන වෙනවා. mrgreen ඉතින් sudo කියල පටන්ගෙන තමයි විධානය දෙන්න වෙන්නෙ, මෙන්න මෙහෙම:

$ sudo apt-get install gwibber



ඉස්සෙල්ලම අපෙන් admin password එක අහවි. ඒක දුන්නට පස්සෙ ඔය රූපෙ විදියට ඔය අනංමනං ගොඩක් පෙන්නුවට බය වෙන්න හොඳ නෑ. ඔය පෙන්නන්නෙ ස්ථාපනය කරන්න අවශ්‍ය අමතර පැකේජ, බාගත කළ යුතු ගොනුවල ප්‍රමාණය, ස්ථාපනය කරන්න හාඩ් ඩිස්ක් එකේ තියෙන්න ඕන ඉඩ වගේ දේවල්. Do you want to continue? කියල ඇහුවම Y ඔබන්න. දැන් අපි හොයල බලන්න ඕන නෑ, එයා (APT) තනියෙන් ඔක්කොම වැඩ ටික කරල දෙනවා.

apt-get වලින් මෘදුකාංග දාන්න වගේම අයින් කරන්නත් පුළුවන්. ඒකට පාවිච්චි කරන්නෙ apt-get remove විධානය. gwibber අයින් කරන්න ඕන නම් මෙහෙම ගහන්න:

$ sudo apt-get remove gwibber


හැබැයි මේකෙන් ස්ථාපනය වෙච්ච ඔක්කොම ගොනු අයින් කරන්නෙ නැහැ. උදාහරණයක් විදියට වැඩසටහනේ වින්‍යාස දත්ත තිබුණු ගොනු ඉතුරු කරනව. ඒ ඔක්කොමත් එක්ක අයින් කරන්න ඕන නම් sudo apt-get remove --purge gwibber විදියට දෙන්න ඕන.

apt-get upgrade වලින් දැනට ස්ථාපනය කරල තියෙන ඔක්කොම මෘදුකාංග එකවර අප්ග්‍රේඩ් කරන්න පුළුවන්.

යන්න කලින් තව දෙයක් කියන්න ඕන. උබුන්ටුවල මේ වැඩ ටික Synaptic Manager කියන මෘදුකාංගය භාවිතා කරලත් කරගන්න පුළුවනි. මේකෙදි කරල තියෙන්නෙ apt විධානවලට රූපමය අතුරුමුහුණතක් දීපු එක. (Applications මෙනුවෙ Add/Remove... කියල තියෙන්නෙ මේකට තමා smile) මීට අමතරව dpkg, tasksel, aptitude වගේ ක්‍රමත් තියෙනවා. පොඩ්ඩක් ගූගල් එකේ ගහල බැලුවොත් විස්තර හොයා ගන්න පුළුවන්. APT ගැනත් අර කියපු ක්‍රම ගැනත් හොඳ විස්තරයක් මෙතන තියෙනවා.

ප.ලි.
මෙන්න මේක නෙට් එකේ තිබිල හොයාගත්තෙ. පේන්නෙ නැත්නම් රූපෙ උඩ ක්ලික් කරන්න. හිනා යන්නෙ නැත්නම් කිති කවා ගෙන හරි හිනා වෙන්න lol

Saturday, October 3, 2009

GRUB මෙනුවේ සෙනසුරු මාරුව

හෆොයි, මාසෙකින් විතර බ්ලොග් එකේ ලියන්න බැරි වුණානෙ. කොටින්ම සින්ඩියට ගියපු කාලයක් මතක නෑ. දැන් ජීවිතේ අන්තෝ ජටා බහි ජටා වෙලා. අළුත් සෙමෙස්ටරෙත් පටන් අරන් සති තුනක් ගියා. ඒත් ලෙක්චර් තුන හතරකට වඩා යන්න බැරි වුණා. තව අතකින් කෙල්ලොන්ගෙ ප්‍රශ්න.
ඔක්කොටම හේතුව මේ සෙනසුරා මාරුවෙච්ච එක්ක. මාත් ඔය කේන්දර ලග්න එච්චර ඇඟට ගන්න කෙනෙක් නෙවෙයි, ඒත් මෙදා සැරේ සෙනසුරා නම් සිරාවටම මාරු වෙලා තියෙනවා. අද උදේ නැගිටින කොට GRUB මෙනුවෙත් සෙනසුරා මාරුවෙලා. Ubuntu වලට යන්න බෑ. වින්ඩෝස්වලටත් යන්න බෑ.

Error 11: Unrecognized device string
Press any key to continue..


Any key එකක් එබුවට හරියන්නෙත් නැහැ. ගිය මාසෙ GRUB එකට වැඩ දාපු එකේ ආනිශංස තමයි කිය කිය හිතන කොට තමයි මතක් වුණේ ඊයෙ උබුන්ටු අප්ග්‍රේඩ් කළා කියල. ඔව් නේන්නම්. GRUB එක බැලුවම kernel එකේ version එක අළුත්. වෙලාවට Live cd එකකුත් අතේ නැහැ. ඉතින් යාලුවෙක්ගෙ මැෂිමකින් නෙට් එකේ පොඩි සෙවුමක් දාල බැලුවා. බැලින්නම් මේක මේ දවස්වල ගොඩක් අයට එන ගැටලුවක්. මේක එන්නෙ GRUB එක අප්ඩේට් වෙන කොටලු.
මේකට විසඳුමකුත් තියෙනවා. GRUB මෙනුවෙ අයිතමයක් උඩට ගිහිල්ල e එබුවම ඒ අයිතමයට අදාළ විධාන ටික වෙනස් කරන්න පුළුවන්. උබුන්ටුවල අළුත් kernel එකට අදාළ විධාන වලට ඇතුළු වෙලා එතන තියෙන

root b9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb

කියන පේළිය

root (hd0,5)

කියල වෙනස් කළා. මෙතන (hd0,5) කියල කියන්නෙ පරිගණකයෙ උබුන්ටු පාටිෂන් එක.
දැන් වැඩේ ගොඩ. ඒත් වින්ඩෝස්වලට අදාළ මෙනු අයිතමය අයින් වෙලා. වෙලාවට පරණ GRUB එකේ backup එකක් තිබුණා. උබුන්ටුවලට ගිහින් අදාළ පේළි ටික කොපි පේස්ට් කරල දැම්මම වැඩේ ගොඩ.

අන්තිමට ලොකු පාඩමකුත් ඉගෙන ගත්තා. මොළේ කල්පනා කරනව නම් සෙනසුරා නෙමෙයි ගුරා මාරුවුණත් බය වෙන්න දෙයක් නෑ. හිත ඇත්නම් පත කුඩාද?

Sunday, September 6, 2009

GRUB මෙනුවට හැඩ වැඩ දාමු

දැන් අපේ ගොඩක් කස්ටිය පාවිච්චි කරන්නෙ වින්ඩෝස් - ලිනක්ස් ද්විත්ව ස්ථාපන (dual boot) නෙ. ඉතින් පරිගණකය දාපු ගමන් ඉස්සර වගේ වින්ඩෝස්වලට යන්නෙ නැහැ. මුලින්ම මෙනුවක් පෙන්නනවා අපිට ඕන පද්ධතිය තෝරගන්න. මෙන්න මේ වගේ:


මේකට කියන්නෙ GRUB (ග්‍රබ්) මෙනුව කියල. මෙතනින් ඕන මෙහෙයුම් පද්ධතිය තෝරගත්තට පස්සෙ තමයි පරිගණකය ඉස්සරහට යන්නෙ. මොකුත් ඔබන්නෙ එහෙම නැතුව හිටියොත් තත්පර 10කින් උඩින්ම තියෙන මෙහෙයුම් පද්ධතිය ඉබේට පණගැන්වෙනවා. ගොඩක් අය කරල තියෙන විදියට වින්ඩෝස් එක්ක උබුන්ටු දාල නම් උඩින්ම තියෙන්නෙ උබුන්ටු.

GRUB මෙනුව ගොඩක් ප්‍රයෝජනවත් වුණත් මේකත් එක්ක සම්බන්ධ වෙච්ච ගැටලු කීපයක් තියෙනවා.
1. තත්පර 10ක් යනතුරු යතුරක් ඔබන්නෙ නැතුව හිටියොත් උඩින්ම තියෙන මෙහෙයුම් පද්ධතියට ඉබේම යෑම. වින්ඩෝස්වලට යන්න මැෂින් එක දැම්මම අමතක වෙලා ලිනක්ස්වලට යන එක ගොඩක් අයට අළුත් අත්දැකීමක් නෙවෙයි
2. වින්ඩෝස් ඔප්ෂන් එක මෙනුවේ යටින්ම පිහිටීම
3. අවලස්සන කළු සුදු තිරය - පොඩ්ඩක් පාට කරල ගන්න තියෙනම්!

ඉතින් මේ ප්‍රශ්නවලට විසඳුමක් නැද්ද? GRUB මෙනුව ගැන විස්තර තියෙන්නෙ /boot/grub/menu.lst කියන තැන. විසඳුම තියෙන්නෙ එතන. මේ ෆයිල් එකේ පොඩි පොඩි වෙනස්කම් කරල GRUB මෙනුව අපිට කැමති විදියකට වෙනස් කරගන්න පුළුවන්.

හැබැයි මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මෙතනින් පහළ තියෙන දේවල් කරන්න ගිහිල්ල මොනව හරි අලාභහානියක් වුණොත් වගකියන්න වෙන්නෙ තමන්ටම බව. මේව මම අත්හදා බලල තමයි තියෙන්නෙ. ඒත් එක සැරයක් පොඩි වැඩ කෑල්ලක් දාන්න ගිහිල්ල නූලෙන් බේරුණෙ. ඒ නිසා බොහොම ප්‍රවේසමෙන් කරන දෙයක් කරන්න.

ඔක්කොටම කලින් කරන්න ඕන menu.lst ෆයිල් එක විවෘත කරගන්න එක. ටර්මිනල් එකක් අරගෙන මේ විධානය දෙන්න:

sudo gedit /boot/grub/menu.lst


දැන් menu.lst, geditවලින් විවෘත වේවි. ඔක්කොම වෙනස්කම් කරන්න තියෙන්නෙ මෙතන තමයි. ඔය # ලකුණුවලින් පටන් අරගෙන තියෙන්නෙ comments. ඒවයෙ බලපෑමක් නෑ. පොඩ්ඩක් හොඳට බැලුවොත් කරන්න ඕන වෙනස්කම් කරන හැටි නිකම්ම වගේ තේරෙයි.

1. Timeout වෙනස් කිරීම
menu.lst ෆයිල් එකේ timeout කියල ලියල තියෙන තැන හොයා ගන්න. කලින් වෙනස් කරල නැත්නම් මෙතන තියෙන්නෙ timeout 10 කියල. ඒ කියන්නෙ අර තත්පර 10කින් උඩම තියෙන පද්ධතිය ඉබේට පටන්ගන්න කතාව. මෙතන 10 වෙනුවට 30 වගේ ආදේශ කළොත් තත්පර 30ක් යනතුරු Grub මෙනුව නැතිවෙන්නෙ නෑ. ඕන නම් 10ට වඩා අඩු කරන්නත් පුළුවන්.

2. මෙනුවේ අයිතමවල පිළිවෙල සැකසීම
menu.lst වල යටටම ගියොත් බලාගන්න පුළුවන් Grub මෙනුවෙ දිස්වෙන අයිතම ටික පිළිවෙලට තියෙනවා. හැබැයි ටිකක් විකාර විදියකට තියෙන්නෙ. නිකං මෙන්න මේ වගේ:

title Ubuntu 9.04, kernel 2.6.28-11-generic
uuid ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb
kernel /boot/vmlinuz-2.6.28-11-generic root=UUID=ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb ro quiet splash
initrd /boot/initrd.img-2.6.28-11-generic


# This entry automatically added by the Debian installer for a non-linux OS
# on /dev/sda1
title Windows Vista (loader)
rootnoverify (hd0,0)
savedefault
chainloader +1


බය වෙන්න දෙයක් නැහැ. මෙනුවෙ පිළිවෙල වෙනස් කරන්න අපිට තියෙන්නෙ අදාළ කොටස්වල පිළිවෙල වෙනස්කරන එක. ඉතින් අපිට ඕන නම් මෙනුවෙ මුදුනටම වින්ඩෝස් දාගන්න අදාළ කොටස උඩටම ගෙනියන්න. මෙන්න මේ වගේ:

title Windows Vista (loader)
rootnoverify (hd0,0)
savedefault
chainloader +1

title Ubuntu 9.04, kernel 2.6.28-11-generic
uuid ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb
kernel /boot/vmlinuz-2.6.28-11-generic root=UUID=ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb ro quiet splash
initrd /boot/initrd.img-2.6.28-11-generic


දැන් වින්ඩෝස් තියෙන්නෙ උබුන්ටුවලට වඩා උඩින්. පොඩ්ඩක් අතපතගාල බැලුවොත් මේ මෙනුව අපිට ඕන විදියකට වෙනස් කරගන්න පුළුවන් බව තේරේවි.

3. මෙනුවට රූපයක් දැමීම
කළු පාට පසුබිම වෙනුවට අපිට පාට පින්තූරයක් දාන්නත් පුළුවන්! මේවට කියන්නෙ splash screens කියල. grub splash screens කියල ගූගල් සෙවුමක් දැම්මම මේ පින්තූර ගොඩක් හොයාගන්න පුළුවන්. නැත්නම් තමන්ටම කියල වුණත් එකක් හදාගන්න පුළුවන්. ඒක කරන හැටි මෙතන තියෙනවා. මේ රූප තියෙන්නෙ .xpm.gz කියන ෆෝමැට් එකට. ඒ කියන්නෙ .xpm පින්තූර .gz ආකාරයට සිප් කරලා. දැන් අවශ්‍ය රූපය /boot/grub/ ඩිරෙක්ටරියට කොපිකරලා menu.lst එකේ උඩින් මේ පේළිය ඇතුළත් කරන්න:

splashimage=(hd0,5)/boot/grub/splash.xpm.gz


ඔතන splash.xpm.gz කියන තැනට ඇත්තටම දාන්න ඕන පින්තූරෙ නම. hd0,5 කියන තැනට ලිනක්ස් බූට් පාටිෂන් එකේ අංකය දෙන්න.

දැන් ඉතින් menu.lst save කරල දෙයියො බුදුන් සිහිකරගෙන මැෂිම රීස්ටාට් කරන්න. වැඩේ හරියට කළා නම් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. මට නම් අවුලක් නැතුව වැඩකළා.


දැන් නම් ඉතින් මැෂිම දාන්නෙ හරිම ආසාවෙන්. පැයකට දෙකකට සැරයක් රීස්ටාට් කරනවා Grub මෙනුව බලන්න. :D



සිංග්‍රීසි නව 1.6 සංස්කරණය: http://singreesi.vndv.com

Saturday, August 22, 2009

ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි

අපි පොඩි කාලෙ පඳුරකට ගැහුවම පහ හයක් එළියට විසිවෙන තරම් ටීවී චැනල් තිබුණෙ නැහැ. දෙකයි තුනයි තිබුණෙ. ඒ තිබුණ ඒවයිනුත් අපි නිතරම බැලුවෙ ජාතික රූපවාහිනිය තමයි. මතක විදියට ඒ කාලෙ බලන්න නුසුදුසුයි කියල කිසිම වැඩසටහනක් තිබුණෙ නැති තරම්. ඒත් තිබුණු සුළු වැඩසටහන් ගොන්නෙනුත් වැඩිපුරම හිත ගිහිල්ල තිබුණෙ ඔෂින්, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වගේ වැඩසටහන්වලට. මේ ඔක්කොම අපේ ටයිටස් තොටවත්තයන්ගෙ නෙව. ඔය කාලෙම තමයි විශේෂ අධ්‍යාපන සේවය කියල එකකුත් රූපවාහිනියෙ පටන් ගත්තෙ. මේකෙත් ගොඩක් බලන්න වටින වැඩසටහන් ප්‍රචාරණය වුණා. ගී හත, මනෝහාරි වගේ සංගීත වැඩසටහනුත් නොවැරදීම බලනවා. ඇයි අපේ හේම නලීන්ගෙ නමයයි පහ?

මේ දවස්වල ගියපු වැඩසටහන් ගැන නොකියම බැරි දෙයක් තමයි ඒවයින් ජීවිතේට ගන්න පුළුවන් ගොඩක් දේවල් තිබුණය කියන එක. අපි දැන් කරන කියන දේවලුත් සමහර විට ඒවයින් ආභාෂය ලබන්න ඇති. ඒත් දැන් ටීවී චැනල්වල යන දේවල් දකින ළමයි හැදෙන විදිය හිතාගන්න බෑ. ජාතික රූපවාහිනියෙ වුණත් එදා වගේ සංයමයක් ඇතුව ප්‍රවේසමෙන් වචන හසුරවපු නිවේදකයො අද අඩුයි.

මේ කාලෙ රූපවාහිනියෙ ගියපු සින්දුවක් මට අද ‍වගේ මතකයි. මොනවද මුත්තේ මොකද කරන්නේ ඇහෙන කොටම ටීවී එක ළඟට දුවන් එනව. මේක කියවන ගොඩක් අයටත් හොඳට මතක ඇති. ඒ කාලෙ ඔය සින්දුවෙ බරක් පතලක් නො‍තේරුණාට හොඳට හිතේ තැන්පත්වෙල තිබුණා. සීය කෙනෙකුත් පොඩි ළමයෙකුත් අතරෙ ඇතිවෙන කතාබහක් තමයි මේකෙ යන්නෙ.

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ‍ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරන්නෙමි

දුක සේ සිටුවා අඹ ඇ‍ටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොමතේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුවොත් කොහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
පලයෙන් අපි කවුරුත් ලබනෙම් පල
අපෙන් පසුව එන අයටත් එම පල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

කොයිතරම් වැදගත් තේරුමක් තියෙන සින්දුවක්ද? දැන් තියෙන "අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" වගේ නෙවෙයි. වාසනාවට යූ නළයෙ තිබිල මේකෙ වීඩියෝ එකකුත් හම්බවුණා.



ඔය වීඩියෝ එකේ රූප බොඳවෙලා වගේ තියෙන්නෙ වැරදීමකින් නෙවෙයි. ඔරිජිනල් එකේ තියෙන්නෙත් එහෙමමයි. ඒකෙ "පෙර උන් අය සිටවූ අඹ ගස්වල..." කොටසෙදි සීය අඬනව දකින කොට ඇස්වලින් කඳුළු නොඑන්නෙ කාගෙද?

Thursday, August 20, 2009

ඔරිගමි ගැන වචනයක් දෙකක්


ඔරිගමි කිව්වම කස්ටියට මතක් වෙන‍්නෙ මොනවද? මට නම් මතක් වෙන්නෙ පොඩි කාලෙ වැස්ස දවසට හදල පා කරපු බෝට්ටු. සමහරුන්ට නම් ඉස්කෝලෙ කාලෙ එක්සයිස් පොතේ මැද පිටුව ඉරල හදපු ප්ලේන් මතක් වෙනව ඇති.












මේ දවස්වල ඔරිගමි ගැන ටිකක් හොයල බලපු හින්ද හිතුණ ඔරිගමි ගැන පෝස්ට් එකක් දාන්න. ඇත්තටම ඔරිගමි කියන්නෙ අර කලින් කිව්ව වගේ නිර්මාණ කීපයකට හිරවෙල තියෙන දෙයක් නෙවෙයි. මේක ලෝකෙ පුරා මිනිස්සු දහස් ගණන් තමන්ගෙ විනෝදාංශය විදියට කරන බොහොම ජනප්‍රිය වගේම පුළුල් පරාසයක විහිදිල තියෙන මාතෘකාවක්. අර වගේ සරල නිර්මාණ වගේම අර මුදුනෙ තියෙන රූපෙ වගේ ඉතා සංකීර්ණ නිර්මාණ දක්වා ඔරිගමි පැතිරිල තියෙනව.

අපි දන්න සාමාන්‍ය කොල හරේට මෙහෙට නවල හදන නිර්මාණවලට කියන‍්නෙ සාම්ප්‍රදායික ඔරිගමි කියල. තව ජාතියක් තියෙනව modular origami කියල. මේකෙදි කරන්නෙ එක වගේ පොඩි පොඩි කොටස් ගොඩක් හදල ඒව එකතු කරල ලොකු ලස්සන නිර්මාණ හදන එක. මේ රූපෙ බැලුවම තේරෙයි.




තව ජාතියක් තියෙනව කිරිගමි (kirigami) කියල. මේකෙදි කඩදාසිය නමනවට අමතරව කතුරෙන් කැපුමුත් දානව. මේ තියෙන්නෙ කිරිගමි නිර්මාණයක්. මේ විදියට කපල හදන්නෙ ගොඩක් වෙලාවට‍ මේ වගේ ගොඩනැගිලි වගේ දේවල්.

ඔරිගමි වටා නිර්මාණය වෙච්ච ගණිතයකුත් තියෙනවා. මේකට කියන්නෙ Origami Mathematics එහෙමත් නැත්නම් Origamics කියල. වැඩි විස්තර දැනගන්න කැමති නම් ඉතින් ගූගල් එකේ ගහල බැලුවම ඕන තරම් විස්තර හොයා ගන්න පුළුවන්. Origami diagrams කියල හෙව්වම ඔරිගමි නිර්මාණ දහස් ගාණක් කරන හැටි ඉගෙන ගන්න පුළුවන් විස්තර එනවා. මෙන්න මේ අඩවිය තමයි මගෙ ප්‍රියතම එක: http://dev.origami.com/diagram.cfm නිකම් ඉන්න ගමන් එකක් දෙකක් හදල බලන්න. වැඩි අමාරුවක් නෑනෙ. කඩදාසියක් අරගෙන අරහෙට මෙහෙට නමන එකනෙ. හැබැයි හොඳ ඔරිගමි නිර්මාණයක් හැදුවම හිතට ලොකු සතුටක් එනවා. දවසින් දවස හදල හොඳ ඔරිගමි එකතුවක් හදාගන්නත් පුළුවන්.

ඔරිගමි ගැන නම් කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ආයෙත් පස්සෙ දවසක බලමුකො.

Saturday, August 8, 2009

සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකය 1.5 සංස්කරණය


සිංග්‍රීසිවලට හිතුවට වැඩිය ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ප්‍රතිචාර දීපු කාටත් බොහොම ස්තුතියි! නමුත් බොහෝ දෙනෙකුට තිබුණු ගැටලුවක් වුණේ ටිකක් ටයිප් කරගෙන යනකොට ස්ටක් වෙලා ලිය ලිය හිටපු ඔක්කොමත් නැතිවෙන එක. පස්සෙ බලන් යනකොට තේරුණේ මේක වෙන්නෙ පේළියේ කොනටම ටයිප් කරගෙන ගොස් ඉබේම ඊළඟ පේළියට යනකොට බවයි. ඉතා දරුණු වරදක්. සමාවෙන්න. ඔන්න ඒ අඩුපාඩුව හැදුවා.

මීට අමතරව වැඩසටහනට තවත් පොඩි පොඩි කොටස් කීපයක් එකතු කළා. කලින් දීපු Help file එකේ විස්තර ගොඩක් අඩුයි. කොටින්ම යංසය ලියන්නේ කොහොමද කියලවත් තිබුණෙ නැහැ. ඒ අඩුපාඩුවත් හැදුවා.

මෙනු තීරුවේ තියෙන Copy Sinhala Text බොත්තමෙන් සිංහල අකුරු ටික ක්ලිප්බෝ‍ඩ් එකට කෙළින්ම පිටපත් කරගන්න පුළුවන්.

Zip file එකේ උදාහරණ කීපෙකුත් ඇතුළු කරලා තියෙනවා.

සමහරවිට සිංග්‍රීසි හදන එක මම අතෑරල දාන්නම තිබුණා. නමුත් ඒකට ඉඩදුන්නෙ නැත්තෙ සිංග්‍රීසි පාවිච්චි කරල ප්‍රශංසා කරපු, අඩුපාඩු පෙන්නල දීපු ඔබ සැම. බ්ලොග් එකට දීපු ප්‍රතිචාර වගේම ලිපිත් සෑහෙන ගණනක් ලැබුණා. කීප දෙනෙක්ම සිංග්‍රීසි මගින් සිංහල බ්ලොග්කරණෙට පිවිසුණු බවත් අසන්න ලැබුණා. මේ පුරසාරමකට කියන දෙයක් නෙමෙයි. තමන් හදපු දෙයක් ගොඩක් දෙනා පාවිච්චි කර‍නවා දකින කොට හිතට ‍ලොකු සතුටක් එනවා.

මේ සිංග්‍රීසි 1.5 සංස්කරණය. මේකෙත් අඩුපාඩු ඇති. ඒව පෙන්නල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. මේ තත්වෙට හරි ගේන්න පුළුවන් වුණේ ‍එහෙම පෙන්නල දීපු නිසයි.

මෙතනින් බාගන්න:
http://www.mediafire.com/?g2ymzzzmwnz

(මේක වැඩකරන්න Dot Net Framework 3.5 තියෙන්න ඕන.)

ඊමේල් ලිපිනය: thameera123@gmail.com

Thursday, August 6, 2009

බොරු කියන්න ගිහින් වෙච්ච ඇබැද්දියක්...

මේක සිද්ධ වුණේ ජර්මනියෙ වැන්ගරූ (Wangerooge) කියන දූපතේදි. ඔලිම්පියාඩ් එකේ වැඩ ඉ‍වරවෙලා ලකුණුත් දුන්නට පස්සෙ එක විනෝද චාරිකාවක් තියෙනව ඔලිම්පියාඩයට ආපු කවුරුත් සහභාගී වෙන (අනිත් චාරිකාවලට සාමාන්‍යයෙන් යන්නෙ තරගකරුවන් විතරයි).

ඉතින් ඔන්න අපි කවුරුත් උදේ පාන්දරම ලෑස්ති වුණා. ජර්මනිය ලෝක සිති‍යමේ තියෙන තැන මතක අය දන්නව ඇති ජර්මනියට අයත් මුහුදු තීරය තියෙන්නෙ උතුරට වෙන්න කියල. අපි හිටිය බ්‍රේමන් තිබුණෙ මීට කිලෝමීටර් 130ක් විතර යටින්. ඉතින් ගමනෙ මුල් කොටස බස් එකේ තමයි ගියේ. මේ පැත්ත එච්චර නාගරික නෑ. පොඩි පොඩි ගම්මාන පහුකරගෙන යන්න තියෙන්නෙ.

දැන් ඉතින් වෙරළෙ ඉඳල දූපතට යන්න ඕන මගී බෝට්ටුවකින්(ferry). ඒ ගමනටත් පැය දෙකකට කිට්ටුවෙන්න ගතවෙනව. බෝට්ටුවෙදි හම්බවුණු ට්‍රිනිඩෑඩ් කණ්ඩායමත් එක්ක කාඩ් අතක් ගගහ ගිය නිසා වෙලාව යනව දැනුනෙ නැහැ.
ඔන්න දැන් අපි දූපතට ආව. මෙතන ඉඳල අපිව එක්ක ගියේ පුංචි කෝච්චියකින්.

වැන්ගරූ සංචාරක දිවයිනක්. ගොඩක් සංචාරකයො එන්නෙ මෙහෙ තියෙන මූදු වෙරළට. මෙහෙ වෙරළෙ ලංකාවෙ වගේ රන්වන් වැල්ලක් නැහැ. මඩ පාට වැල්ලක් තියෙන්නෙ. අනික වෙරළක් වුණාට ඉර අව්ව වැටෙන්නෙත් නැහැ. පුදුම හීතලයි. ලංකාවට ඇවිල්ල අව්ව තපින ජර්මන් සංචාරකයන්ට ලංකාවෙ අගේ හොඳට තේරෙනව ඇති.

ලං‍කාවෙන් ගියපු අපිට වැල්ල පාගන එක අළුත් දෙයක් නෙවෙයිනෙ. ඉතින් කස්ටිය කතා කරගෙන ගියා කඩ මණ්ඩිය පැත්තට. මං කියන්න ආපු කතාව ඇත්තටම සිද්ධ වුණේ එතනදි.

අනිත් අය සුවනියර් හොය හොය ඉද්දි මටයි ගම්ලත්ටයි ඕන වුණා ටී ෂර්ට් ගන්න. එනකොට තාත්තට මොනව හරි ගෙනාවෙ නැත්නම් ලොකු අඩුපාඩුවක්නෙ. ඉතින් අපි දෙන්නා වටපිට බලද්දි මෙන්න තියෙනවා ඇඳුම් කඩයක්. දෙන්නම කඩේට ගොඩ වුණා.


ටී ෂර්ට් හොය හොය ගියාට අපිට ඕන විදියෙ ඒව නැහැ වගේ. හරිම අමුතු ඇඳුම් තියෙන්නෙ. ගෑණුන්ගෙ ඇඳුම් වගේ...

ගෑණුන්ගෙ??? එක සැරේටම ගම්ලත්ට තමයි මීටර් වුණෙ මේක මේ ගෑණු ඇඳුම් කඩයක් කියල. මාර නෝන්ඩිය. අපි දෙන්න කවුරුවත් දැක්කෙ නැතෙයි කියල හිතල හෙමිහිට මාරු වෙන්න හදන කොටම ඉස්සරහට ආවනෙ කඩේ අයිතිකාරි! ගෑණිටත් අපිට වෙච්ච වැඩේ ‍තේරිලා වගේ හිනා ගියා. හිනා වෙන ගමන්ම ගත් කටටම ඇහුවෙ නැතෑ "මොකද ladiesල හොයා ගෙනද ආවෙ?" කියල. මාර සීන් එක. ඉතින් අපිත් මොනව කියන්නද කට වහගෙන හිටියා.

අපි හිතුවෙ වැඩේ ඉවරයි කියල. ඒත් ගෑණිත් අතෑරියෙ නෑ. අපෙන් ඇහුව මොන රටෙන්ද ආවෙ කියල. අපිත් එළියට යන ගමන්ම කිව්වා "ඉන්දියාවෙන්" කියල. කිව්වා නෙවෙයි කියවුණා. දැන් මෙයා අපේ පස්සෙන්මයි. ඒ පා‍ර "ඉන්දියාවෙ මොන ටවුන් එකෙන්ද" කියල ඇහුවා. ඒ වෙලාවෙ මොන හේතුවක් හින්ද මගේ කටෙන් "හයිද්‍රබාද්" කියල කියවුණාද කියල තාමත් හිතා ගන්න බෑ. ඊළඟ ප්‍රශ්නය: ඉන්දියාවෙ මොන කොනේද හයිද්‍රබාද් තියෙන්නෙ? බොරුවක් කියන්න කට ගන්න කොටම මේ ගෑණි කියාපි තමනුත් ඉන්දියාවෙ අවුරුදු දෙකක් හිටියයි කියල. මළ කෙළියයි. දැන් බොරුවක් කියන්නත් බෑ.

"හයිද්‍රබාද්වල ඉපදුණාට අපි දිල්ලියෙ ඉන්නෙ"
"මමත් දිල්ලියෙ තමයි හිටියෙ. දිල්ලියෙ කොයි හරියෙද?"
"ටවුන් එකේම නෙවෙයි. ටිකක් එහාට වෙන්න"
"දිල්ලියෙ අර අහවල් නම තියෙන ෆැමිලි එක අඳුරනවද?" මොකක්ද පවුලක නමකුත් කිව්වා දැන් මතක නෑ.
"නම නම් අහල තියෙනවා. හරියටම කවුද කියන්න දන්නෙ නෑ"
"දැන නොගන්න විදියක් නෑ. අර අහවල් ෆැක්ටරිය අයිති ඒ ගොල්ලන්ටනෙ!"

මදැයි. එක බොරුවක් කිව්වම බොරු සීයක් කියන්න වෙනව කියන්නෙ ඕක තමයි. කොහොම හරි අපිට ලේසියෙන් ගැලවෙන්න හම්බ වුණේ නැහැ. අපිව gents wear shop එකකටත් එක්ක ගිහිල්ල ටී ෂර්ට් තියෙන තැනත් පෙන්නල ඒ කඩේ අයිතිකාරයටත් ජර්මන්වලින් මොනවදෝ කිව්වා. නියම රැග් එක! අපි දෙන්නත් ගෑණි අහක බලාගන්නකන් ඉඳල හෙමිහිට ෂේප් වුණා. එදා දවසෙ ආයිත් ඒ කඩේ පැත්ත පළාතෙ ගියෙ නැහැ.

මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. නොදන්නා කඩේකට යන්න කලින් ටිකක් එළියෙන් විපරම් කරල බලල ඇතුල් වෙන්න. එක බොරුවක් කිව්වොත් ඒක වහගන්න තව බොරු සීයක්වත් කියන්න වෙන බව හොඳට මතක ති‍යාගන්න. ‍බොරුවක් කියනකොට වුණත් කටට එන එන දේ කියන්න එපා. හොඳට හිතල බලල කියන්න. අනුන් පාවල දෙන්න ගියාම වෙන්නෙ තමන්ම වලේ වැටෙන එක. මේව අපි කාටත් හොඳ පාඩම්.

Tuesday, August 4, 2009

ක්‍රෝම්වලටත් තීම්ස් ඇවිත්!!!

සුබ ආරංචියක්! ගූගල් ක්‍රෝම්වලටත් තීම්ස් ඇවිත්. ක්‍රෝම් ලෝලීන්ට මෙතෙක් කල් තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි තීම්ස් නොමැතිකම. ඔන්න ඒ ප්‍රශ්නෙත් ඉවරයි. හැබැයි තවමත් තියෙන්නේ තීම් 30කට කිට්‍ටු ගාණක් විතරයි. ඒත් ඒ තියෙන ටික නම් මාර ගති. Firefox මොනවද කියල හිතෙනවා (@Akila :D). ඔන්න මාත් එකක් දාගත්තා.



හැබැයි තීම්ස් දාගන්න ක්‍රෝම් 3 developer සංස්කරණය ස්ථාපනය කරල තියෙන්න ඕන.
http://tools.google.com/chrome/intl/en/themes/index.html
දැන් කලින් වගේ default.dll මාරුකරකර කර ඉන්න ඕන නැහැ. වින්ඩෝස්වල නම් හොඳට වැඩ. ලිනක්ස්වල තාම උත්සාහ කරන්න බැරිවුණා.

ක්‍රෝම්වල ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ නැති තවත් පහසුකමක් තියෙනවා. Address bar එකේ youtube කියල ලියන්න පටන් ගන්න කොටම එතන දකුණු අත පැත්තෙන් එනවා "Press Tab to search youtube.com" කියලා පණිවුඩයක්. දැන් Tab එක ගැහුවම එතන youtube search box එකක් බවට පත්වෙනවා. මේ පහසුකම cnn.com, digg.com, yahoo.com වගේ අඩවි ගණනාවකට ගන්න පුළුවන්. හැබැයි ගොඩක්ම ‍ප්‍රයෝජනවත් වෙන්නෙ youtube වලට තමයි. මේ ගැන දැන ගත්තෙ ක්‍රෝම් බ්ලොග් එකෙන්.

ක්‍රෝම්වලට ඇඩෝන ලැබෙන දිනයත් අත ළඟ බව මතක් කරමින්...

Friday, July 24, 2009

ගණිත ඔලිම්පියාඩයෙන් ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

මුලින්ම මේ ගණිත ඔලිම්පියාඩය යනු කුමක්දැයි යන්න බොහෝ දෙනෙකුට තවමත් ගැටලුවක් බව පෙනුනු නිසා ඒ ගැන පොඩි හැඳින්වීමක් කිරීමට සිතුවෙමි.
අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩය යනු වයස 20ට අඩු සිසුන් සඳහා වසරකට වරක් පවත්වනු ලබන ශූරතා තරගාවලියකි. මෙම තරගය දින දෙකක් පුරා පැවැත්වෙන අතර එහිදී මෙතෙක් ලොව කුමන තැනකවත් පළවී නොමැති නවතම සහ ඉතා දුෂ්කර ගණිත ගැටලු 6ක් විසඳීමට ඔවුන්ට සිදුවේ. මෙම ගැටලු ගණිතයේ Number theory, Geometry, Algebra සහ Combinatorics යන කොටස්වලට අනුරූපව නිර්මාණය කෙරේ. මේවායින් ලංකාවේ පාසල් පද්ධතියේ යම් තරමකට හෝ උගන්වනු ලබන්නේ ජ්‍යාමිතිය පමණි. එබැවින් මේ සඳහා සිසුන්ට පුහුණු වැඩමුළුවලට සහභාගී වීමට සිදුවේ. මෙම පුහුණු සැසි හා තරග සංවිධානය මූලිකව සිදුවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත දෙපාර්තමේන්තුව සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිත සංගමය මගිනි. මේ සියලු දෙනා එක්තැන් කරන්නෙ ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත පදනම මගින්.

ඔලිම්පියාඩය සඳහා එක් රටකින් සිසුන් 6 දෙනෙකු ඉදිරිපත් කළ හැකිය. ශ්‍රී ලංකාවෙන් මෙවර ඔලිම්පියාඩය නියෝජනය කළ කණ්ඩායමේ ලජානුගන් ලෝගේෂ්වරන් සහ බුද්ධිම රුවන්මිණි ගම්ලත් සිසුවන් දෙදෙනා එයින් ලෝකඩ පදක්කම් දෙකක් ලංකාවට ගෙන ඒමට සමත්විය.



මීට අමතරව දිලීප ප්‍රනාන්දු, තරිඳු වර්ණකුල සහ සංකල්ප ෆොන්සේකා යන සිසුන් විශේෂ සම්මාන (Honourable Mentions) දිනා ගැනීමට සමත්වූහ. විශේෂ සම්මාන ලැබෙන්නේ එක් ගණනක් හෝ කිසිදු අඩුපාඩුවක් නොමැතිව සම්පූර්ණයෙන් විසඳීමටයි. මෙවර ප්‍රශ්නපත්‍රය මෙතැනින් බාගත කරන්න පුළුවන්. ‍මේ ඉන්නෙ ලංකාව නියෝජනය කරපු කණ්ඩායම:

‍රූපෙ වමේ ඉඳල පිළිවෙලට ඉන්නෙ සංකල්ප, ක්‍රිෂාන්තන්, තමීර (උප නායක), ලජානුගන්, ගම්ලත්, චානක්‍ය (නායක), දිලීප සහ වර්ණකුල

මේ අතරින් අපේ කණ්ඩායමේ හිටපු සුපිරිම ක්‍රී‍ඩකය තමයි ලජානුගන්. ලජන්ට රිදී පදක්කම අහිමි වුණේ ලකුණු දෙකකින්. කොහොම වුණත් ලංකාව රිදී පදක්කමක් වෙත මෙච්චර කිට්ටුවට කවදාවත් ඇවිල්ල තිබුණෙ නැහැ. අනික මෙතෙක් ලංකාව හොඳින්ම දස්කම් දැක්වුවේ මේ අවුරුද්දෙදි. (ලකුණු 74ක්) මීට පෙර 2006 දි ස්ලොවේනියාවෙදි ලැබුණෙ ලකුණු 71යි. සමස්ත ප්‍රතිඵලය අනුව ලංකාව ඉන්නෙ රටවල් 104ක් අතරින් 50වැනි ස්ථානයෙ. නෝර්වේ, ස්වීඩන්, ස්පාඤ්ඤය, බංග්ලාදේශය, පකිස්තානය ‍වගේ ගොඩක් රටවල් ඉන්නෙ ලංකාවට පිටුපසින්.
මෙවර සහභාගී වුණු කිසිම කෙනෙකුට ලබන වර කසකස්ථානයේ පැවැත්වෙන ඔලිම්පියාඩයට සහභාගී වෙන්න බැහැ (වයස ප්‍රශ්නය නිසා). ඒත් මේ කාටත් දැන් තියෙන්නෙ එකම අරමුණක්. ඒ මීළඟ අවුරුදුවල දී වත් ලංකාවේ රිදී සහ රන් සිහින සැබෑ කිරීමට ගණිත ඔලිම්පියාඩ් පදනමට උපරිම සහයෝගය ලබාදීම.

ප.ලි. ගමන අතරතුර බ්ලොග් කරනව කියල කිව්වත් විවිධ ප්‍රශ්න නිසා ඒක කරන්න බැරි වුණා. පස්සෙ ගමනෙ රසමුසු තැන් එක්ක පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. අපි ලංකාවට ආවෙ 23 වැනිදා (බ්‍රහස්පතින්දා).

Thursday, July 16, 2009

බ්‍රේමන් සිට

දිගටම බ්ලොග් එකට ලියනව කිව්වට මොකද ඩුබායිවලට පස්සෙ අන්තර්ජාලෙ හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. ඇම්ස්ටර්ඩෑම්වල wifi පාවිච්චි කරන්න විනාඩි 15ට යුරෝ 3ක් ඕන! ඒ කියන්නෙ රුපියල් 500කට කිට්ටුයි. ඉතින් වැඩේ අතෑරලා දැම්මා. මේ සිද්ධිය සාමාන්‍ය දෙයක්. ඩුබායි, හොංකොං වගේ ගුවන්තොටුපොළවල නොමිලේ අන්තර්ජාලය අනිවාර්යයි. අනිත් පහසුකම් අතිනුත් උපරිමයි. ඒත් දියුණු රටවල (USA වගේ) ගුවන්තොටුපොළවල තියෙන පහසුකම් හරිම සීමිතයි. මගීන් තම රටට අද්දා ගැනීමේ වුවමනාවක් ඔවුන්ට නැහැ.



ඔන්න ඊට පස්සෙ කොහොමින් කොහොම හරි බ්‍රේමන්වලට ආවා. අපිට නවතින්න තිබුණේ යාකොබ් විශ්වවිද්‍යාලයේ (Jacobs University). ඒකෙ හොස්ටල් අපේ කැම්පස්වල හොස්ටල් වගේ නෙවෙයි. Room service එකකුත් තිබුණා නම් තරු පහේ හොටෙල් එකක් වගෙයි!
ඉතින් ඔක්කොම විස්තර කිය කිය හිටියොත් පොතක්ම ලියන්න වෙනවා. සැකෙවින් කියනව නම් වැඩකටයුතු සිද්ධ වුණේ මෙහෙමයි.

14 - සමාරම්භක උත්සවය තිබුණා. සියලුම රටවල තරගකරුවන් තමන්ගේ රටවල කොඩි ප්‍රදර්ශනය කරමින් ගමන් කරා. තවම මේවයෙ ෆොටෝ ලැබුණෙ නෑ. ලැබුණු ගමන් අප්ලෝඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.

15 - තරගයේ පළමු දවස අද. තරගකරුවන් ගණන්වල කිමිදිලා ඉන්න වෙලාවේ කණ්ඩායම්වල උප නායකයන්ට (අපිට) බ්‍රේමන් නගරයේ සංචාරයක් සූදානම් කරලා තිබුණා.








බ්‍රේමන් හරිම ලස්සන නගරයක්. ගොඩක් කතා කියන්න තියෙනවා. ඒකට වෙනම පෝස්ට් එකක් ඕන.

අපි ඊට පස්සෙ තරගකරුවන් හමුවෙන්න විභාග මධ්‍යස්ථානයට ගියා. තත්වය හිතපු තරම් නරක නෑ. කට්ටිය හොඳට කරල තිබුණා. ඒත් ඒ තරගයෙ පළමු දවස විතරයි.

16 - අද දෙවැනි දවස. අදත් උදෙන්ම කට්ටිය පිටවෙලා ගියා තරගෙට. ඉතින් අපිට උදේ free. ඒ අතරෙ තමයි මේ wifi spot එක හොයාගත්තෙ.

අපේ කණ්ඩායමේ නායකයා කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ හිටපු අංශ ප්‍රධාන චානක්‍ය විජේරත්න මහතා. සර් අපිට කලින් ජර්මනියට ආවත් අපිට මුලින්ම මෙහෙදි හමුවෙන්නෙ අද. අද හවස ඉඳලා උත්තර පත්තර බලන්න සෙට්වෙනවා. ඒ හින්දා විවේකයක් හම්බ වෙන එකක් නෑ.

මේක බොහොම කලබලෙන් ලිව්වෙ. මොනව ලියවුණාද දන්නෑ. වරදක් වුණා නම් සමාවෙන්න. :-) ප්‍රතිඵල නිකුත් කරන්න පුඵවන් වුණ හැටියෙ ආයිත් ලියන්නම්.

මෙවර ඔලිම්පියාඩ් එක ගැන වැඩිපුර විස්තර ඕනේ නම් මේ අඩවියට යන්න:
www.imo2009.de

Sunday, July 12, 2009

ඩුබායි සිට ලියමි

මේ ලියන්නෙ ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළේ ඉඳන්. අපි මේ ජර්මනියේ පැවැත්වෙන 50වැනි අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩයට සහභාගීවෙන්න යන ගමන්. මේක පැවැත්වෙන්නෙ ජර්මනියෙ බ්‍රේමන් නගරයේ. ඉතින් කොළඹ ඉඳල කෙළින්ම ගුවන්යානයක් ගන්න බැහැ. කොළඹින් ඩුබායිවලට ගිහින් එතනින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්වලට ගිහින් එතනින් තමයි බ්‍රේමන් වලට යන්නේ. ඉතින් දිග ගමනක්. ලොකුම අවුල තමයි එයාපෝට්වල පැය ගණන් ඉන්න වෙන එක. ඩුබායිවල ඉඳලයන්න තව පැය 7 1/2ක් ඉන්නවෙනවා!


ඔය අතරෙ අපේ ඉන්ද්‍රනාමත් එක්ක චැට් එකට සෙට් වුණාම තමයි බ්ලොග් එකක් ලියමු කියල කිව්වෙ. ගමන පුරාවටම පෝස්ට් දාන්න තමයි අදහස. ඒත් නෙට් හම්බ වෙන හැටියට තමයි. මෙහෙ ඩුබායිවල නම් free wifi තියෙනවා. ඒ නිසා අවුලක් නැහැ. ඉතින් මාත් ලැප අරගෙන පැත්තකට සෙට් වුණා.


මට ඉතින් free වුණාට ඔලිම්පියාඩයට සහභාගී වෙන අපේ කණ්ඩායමට නම් විවේකයක් නැහැ. ආපු වෙලාවෙ ඉඳන් ගණන් හදනවා. කොහොම හරි මෙදා සැරේ ලංකාවට පදක්කම් කීපයක් ගේන්න තමයි ට්‍රයි එක.


මේ ඉන්නෙ මෙතෙක් ලංකාවෙන් ගණිත ඔලිම්පියාඩය නියෝජනය කරන හොඳම ටීම් එක. ඒ හින්ද වෙනද වගේ ලෝකඩ පදක්කමක් නෙවෙයි, රිදී පදක්කමක් වුණත් ලැබෙන්න හොඳටම ඉඩ තියෙනවා.

දැන් බැටරි බහින්න එන්නේ. 230V සොකට් එකක් හොයා ගත්තොත් ගොඩ. මෙතනින් නවතිමි.
කෂ්ටියට එනකොට මොනවහරි ගේන්න ඕන නම් කියන්න. හැබැයි අතේ සල්ලි නැහැ. ටොපි චොකලට් තමයි ඉතින්. :-)

Tuesday, July 7, 2009

ගණන් හදන්න ආ පූසා සහ තවත් කතා


කාලෙකින් ‍බ්ලොග් එකක් ලියන්නත් බැරිවුණා. මේ දවස්වල IMO training camp එකේ බරට වැඩ. හෙල්ලෙන්නවත් විදියක් නෑ.
ගණිත ගැටලු අතරේ හිරවෙලා ඉන්න අතරේ අළුත් අමුත්තෙක් camp එකට එකතු වුණා. නම ඉමෝ (IMO නිසා තමයි නම දැම්මේ). කාත් කවුරුවත් නැතිව මහරගම NIE එකේ වැටිල ඉන්නකොට තමයි අපිට හම්බ වෙලා කාමරේට ගෙනාවෙ.








අපිත් ඉතින් ඉන්න ගමන් පොඩි ආතල් එකක් ගන්නත් කියලා නෙට් එකෙන් පූසන්ගෙ සද්ද ටිකක් හොයාගෙන ලැපේ play කරා. තනියම හිටපු ඉමෝ පූසෙක්ගෙ හඬ ඇහුණු ගමන් හැසිරුණේ මෙන්න මේ විදියට.



හොයල හොයල බැරිම තැන ඉමෝ ආයිත් ගිහිල්ල හරි බරි ගැහිල නිදාගත්තා. කොහොමහරි කාත් කවුරුවත් නැතුව වැටිල හිටපු පූසා ඔන්න අන්තර්ජාලෙටත් ආවා!

මේ ඉන්නෙ මෙදා සැරේ ජර්මනියෙ පැවැත්වෙන ගණිත ඔලිම්පියාඩ‍යේ ලංකාව නියෝජනය කරන කණ්ඩායම.

රූපෙ වමේ ඉඳල පිළිවෙලට ඉන්නෙ වර්ණකුල, ලජානුගන්, ක්‍රිෂාන්තන්, දිලීප, ගම්ලත් සහ ඉමෝ. සංකල්ප පින්තූරෙ නෑ.
හෙටින් (ජූලි 8) camp එක ඉවරයි. කට්ටිය දැන් කල්පනා කර කර ඉන්නෙ හෙටින් පස්සෙ ඉමෝගෙ කලදසාව ගැන. බාර ගන්න කැමති කවුරුහරි ඉන්නව නම් වහාම අමතන්න. :-)

Thursday, June 25, 2009

සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකය


අපේ බෝඩිමේ ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංහල කී බෝඩ් එක හුරු නැතිකම. මේ අර්බුදයට විසඳුමක් දෙන්න කියල මාත් ලිව්ව පොඩි සොෆ්ට්වෙයා එකක්. නම සිංග්‍රීසි. නමෙන් කියවෙන විදියටම සිංග්‍රීසියෙන් ටයිප් කළාම සිංහලෙන් (යුනිකෝඩ්) වදිනව. උදාහරණයක් විදියට තමීරගෙ තීරය කියල ටයිප් කරන්න ඕන නම් thameerage theeraya කියල ගැහුවම හරි. යුනිකෝඩ් එසැනින් පරිවර්තකය වගේ. හැබැයි ඒකෙ නැති විශේෂාංග කීපයක් එකතු කරන්න උත්සාහ කරා. උදාහරණයක් විදියට අතරමගදි ඉංග්‍රීසියෙන් කොටන්න ඕන වුණොත් ඒක කරන්න පුළුවන් (රූපයේ ආකාරයට). ඒක සඳුන්ගෙ අදහසක්.

මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ (බීටා සංස්කරණය :-) ). මෙන්න බාගන්න ලින්ක් එක:
[සබැඳුම ඉවත් කරන ලදී. නව සංස්කරණය බාගැනීමට මෙතනට යන්න.]

හොඳද බලල වැරැද්දක් එහෙම අහුවුණොත් කියන්න අමතක කරන්න එපා. ඊමේල් ලිපිනය ඒකෙ තියෙනවා. මේක Visual C# 2008 වලින් ලිව්වෙ. ඒ හින්ද වැඩ කරන්න .Net Framework 3.5 ඕන වේවි.

ප.ලි. මෙම පෝස්ට් එක ලිවීමෙන් දින කිහිපයකට පසු මෙම ලිපියට ලැබුණු ප්‍රතිචාර අනුව සිංග්‍රීසි 1.2 නමින් මෙය වැඩිදියුණු කළෙමි. උපකාරක ගොනුවක් ද අමුණා ඇත. දැන් ඉහත සබැඳිය මගින් එය බාගත හැකිය. ප්‍රතිචාරවලට ස්තුතියි!

Wednesday, June 17, 2009

තමීර හාවාට ඇබ්බැහි වෙයි

මුලින් ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකුයි කියනවනෙ. ඔන්න මටත් දැන් මෙච්චර කල් හම ගහපු වින්ඩෝස් වලට වඩා අළුතෙන් ආපු උබුන්ටු හැඩකාර හාවා ලොකු වෙලා. තිබුණු පාටිෂන් එකක් සම්පූර්ණයෙන් මකල හාවව දැම්මෙ ඔන්න ටික දවසකට විතරයි ඊට පස්සෙ යන්න ඕන කියල. දැන්නම් තියාගන්නමයි හිත.

සති දෙකකට කලින් අපේ බෝඩිමේ ළහිරුගෙ සීඩී එක ඉල්ලගෙන හාවා දාගත්තෙ. ඊට පස්සෙ එකම එක සැරයක්වත් වින්ඩෝස් පාවිච්චි කරන්න වුවමනා වුණේ නැහැ. කොඩෙක් පැක් ටිකයි ඕන කරන තව සොෆ්ට්වෙයා ටිකකුයි දාගත්තම වැඩේ ගොඩ. ඇබ්බැහි වෙන සුළු ගේම් ටිකකුත් හොයා ගත්තා.


උබුන්ටු 8.04 එක්ක තිබිච්ච ලොකුම අවුල තමයි E220 වෑර්ලස් එක අරගන්න ලොකු ගේම්ක් දෙන්න වුණු එක. දැන් නම් එක ක්ලික් එකයි වැඩේට යන්නෙ. විස්ටා එක්ක වැඩ කරනකොට පැයකට සැරයක් වත් මැෂිම crash වෙනවා. හාවගෙ නම් එහෙම ප්‍රශ්නයක් තාම ආවෙ නැහැ. වෙනද නිකන් තියෙන කොටත් මෙමරියෙ 900MB විතර පිරිලා දැන් නම් ඒකෙන් තුනෙන් එකක්වත් යන්නෙ නැහැ. ඔන්න කතාවෙන් කතාව හාව ගැන ඇඩ් එකක් වීගෙන එන්නෙ.

කොහොම හරි දැන් ඉතින් ෆුල් ටයිම් ලිනක්ස් වගේ තමයි. හැබැයි විස්ටා අයින් කරන්නෙ නම් නැහැ. මොකද විෂුවල් ස්ටුඩියෝ පාවිච්චිකරන්න හාවට තහනම්නෙ. C# වලින් වැඩ කරන්න කියල Monodevelop දාගත්තත් ඒක වින්ඩෝස් වලදි වගේ ලේසි නැහැ. අනිත් එක පෙරේද දසුන්ගෙන් (පැංචා;-)) හම්බ වුණු Command & Conquer Generals ඉන්ස්ටල් කරගන්නත් ඕන. :-) මේවට Virtual Box එකේ performance මදි.

මට දැන් තියෙන ප්‍රශ්නෙ මේකයි. විස්ටා බූට් වෙන්න වරුවක් විතර යනවා. ඒ හින්ද විස්ට පාවිච්චි කරනව නම් හැම වෙලේම Shut Down කර කර ඉන්න බැහැ. Hibernate තමයි එකම විසඳුම. ඒත් එහෙම කළාම හාවට බැහැනෙ වින්ඩෝස් පාටිෂන් විවෘත කරන්න. දැන් ඕන වෙලා තියෙන්නෙ දෙන්නටම හරියන ෆයිල් සිස්ටම් එකක් හදාගන්න. මේ කියවන කවුරුහරි ඒක කරන හැටි දන්නවනම් කියල දුන්නොත් ලොකු පිනක්!

Monday, June 15, 2009

උබුන්ටු වලින් ඩොස් ගේම්!

ඊයෙ උබුන්ටු 9.04 සීඩී එකක් හම්බ වෙලා ඉන්ස්ටල් කරගත්තා. 8.04 එක්ක බැලුවම ලොකු වෙනසක් තියෙනවා. දැන් E220 වෑර්ලස් එක වැඩ කරන්න කලින් වගේ ගේමක් දෙන්න ඕන නැහැ. (8.10වලත් මේ පහසුකම තිබුණා කියලා ඇහුවා) දැන් නම් මාර ම ලේසියි.

ඉස්සර කාලෙ (වින්ඩෝස් 95 වගේ කාලෙ) ඩොස් ගේම් ගැහුව මතකද? Super Mario, Dave, Prince of Persia එහෙම. ඒ කාලෙ තිබුණ හොඳම ගේම් තමයි ඒව. ඒත් දැන් කවුරුවත් ඒව ගහන්නෙ නෑ. ඒකට එක හේතුවක් අළුතෙන් එන මෙහෙයුම් පද්ධති ඒවට සපෝට් නොකිරීම. අනිත් එක මෙච්චර හැඩ වැඩ ගේම් ඇවිල්ල තියෙන කොට අර කාටූන් වගේ ගේම් ගහන්නෙ කවුද?

හැබැයි සමහරු දන්නෙ නැතුව ඇති මේ පරණ ඩොස් ගේම් උබුන්ටු වලිනුත් ගහන්න පුළුවන් කියලා. උබුන්ටුවල කොහොමද .exe ෆයිල් වැඩ කරන්නේ? මේකට කරන්න තියෙන්නේ DosBox Emulator ඩවුන්ලෝඩ් කරගන්න එක. මෙන්න ලින්ක් එක. මේක හොයාගත්තෙ GetDeb.net සයිට් එකෙන්. මීට අමතරව ඩොස් ගේම් එකකුත් ඕන :-)

DosBox ඉන්ස්ටල් කරගත්තම ඒක Games මෙනුවට එනවා. ඒක විවෘත කළාම එන්නෙ කොන්සෝල් එකක්. දැන් අපේ ගේම්ස් තියෙන ෆෝල්ඩර් එක මවුන්ට් කර ගන්න ඕන. උදාහරණයක් විදියට ගේම්ස් තියෙන්නෙ home/(username)/games ඩිරෙක්ටරියෙ නම් මේ විදියට කමාන්ඩ් එක දෙන්න.

mount c ~/games



දැන් C: කියලා virtual drive එකක් හැදෙනවා. දැන් ඩොස් ක්‍රමේට C: මගින් drive ඇතුළට ගිහිල්ලා cd කමාන්ඩ් එකෙන් ගේම් එක තියෙන ඩිරෙක්ටරියට යන්න. ඊට පස්සෙ ගේම් එකේ නම ගහලා එන්ටර් කරන්න. (උදා dave.exe)

C:\> cd dave
C:\> dave



දැන් ඉතින් ගේම් එක ගහල ලොස් වෙන්න තමයි තියෙන්නෙ. මේව ගහනකොට පරණ කාලෙ මතක් වෙනවා. දැන් කාලෙ ගේම් හැටියට මේව මොනවද, නේද? ඒත් මේවයෙ අමුතු ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා.

මේ ඩොස් ගේම් බාගන්න ඕන නම් ගූගල් සර්ච් එකක් දාන්න. ඕන තරම් හොයා ගන්න පුළුවන්.
කාටත් ලේසි වෙන්න කියල ඔන්න මං ගාව තිබුණ ගේම් කීපයක් MediaFire එකට අප්ලෝඩ් කළා.
Dangerous Dave
Prince of Persia
Xatax