Friday, July 24, 2009

ගණිත ඔලිම්පියාඩයෙන් ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

මුලින්ම මේ ගණිත ඔලිම්පියාඩය යනු කුමක්දැයි යන්න බොහෝ දෙනෙකුට තවමත් ගැටලුවක් බව පෙනුනු නිසා ඒ ගැන පොඩි හැඳින්වීමක් කිරීමට සිතුවෙමි.
අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩය යනු වයස 20ට අඩු සිසුන් සඳහා වසරකට වරක් පවත්වනු ලබන ශූරතා තරගාවලියකි. මෙම තරගය දින දෙකක් පුරා පැවැත්වෙන අතර එහිදී මෙතෙක් ලොව කුමන තැනකවත් පළවී නොමැති නවතම සහ ඉතා දුෂ්කර ගණිත ගැටලු 6ක් විසඳීමට ඔවුන්ට සිදුවේ. මෙම ගැටලු ගණිතයේ Number theory, Geometry, Algebra සහ Combinatorics යන කොටස්වලට අනුරූපව නිර්මාණය කෙරේ. මේවායින් ලංකාවේ පාසල් පද්ධතියේ යම් තරමකට හෝ උගන්වනු ලබන්නේ ජ්‍යාමිතිය පමණි. එබැවින් මේ සඳහා සිසුන්ට පුහුණු වැඩමුළුවලට සහභාගී වීමට සිදුවේ. මෙම පුහුණු සැසි හා තරග සංවිධානය මූලිකව සිදුවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත දෙපාර්තමේන්තුව සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිත සංගමය මගිනි. මේ සියලු දෙනා එක්තැන් කරන්නෙ ශ්‍රී ලංකා ඔලිම්පියාඩ් ගණිත පදනම මගින්.

ඔලිම්පියාඩය සඳහා එක් රටකින් සිසුන් 6 දෙනෙකු ඉදිරිපත් කළ හැකිය. ශ්‍රී ලංකාවෙන් මෙවර ඔලිම්පියාඩය නියෝජනය කළ කණ්ඩායමේ ලජානුගන් ලෝගේෂ්වරන් සහ බුද්ධිම රුවන්මිණි ගම්ලත් සිසුවන් දෙදෙනා එයින් ලෝකඩ පදක්කම් දෙකක් ලංකාවට ගෙන ඒමට සමත්විය.



මීට අමතරව දිලීප ප්‍රනාන්දු, තරිඳු වර්ණකුල සහ සංකල්ප ෆොන්සේකා යන සිසුන් විශේෂ සම්මාන (Honourable Mentions) දිනා ගැනීමට සමත්වූහ. විශේෂ සම්මාන ලැබෙන්නේ එක් ගණනක් හෝ කිසිදු අඩුපාඩුවක් නොමැතිව සම්පූර්ණයෙන් විසඳීමටයි. මෙවර ප්‍රශ්නපත්‍රය මෙතැනින් බාගත කරන්න පුළුවන්. ‍මේ ඉන්නෙ ලංකාව නියෝජනය කරපු කණ්ඩායම:

‍රූපෙ වමේ ඉඳල පිළිවෙලට ඉන්නෙ සංකල්ප, ක්‍රිෂාන්තන්, තමීර (උප නායක), ලජානුගන්, ගම්ලත්, චානක්‍ය (නායක), දිලීප සහ වර්ණකුල

මේ අතරින් අපේ කණ්ඩායමේ හිටපු සුපිරිම ක්‍රී‍ඩකය තමයි ලජානුගන්. ලජන්ට රිදී පදක්කම අහිමි වුණේ ලකුණු දෙකකින්. කොහොම වුණත් ලංකාව රිදී පදක්කමක් වෙත මෙච්චර කිට්ටුවට කවදාවත් ඇවිල්ල තිබුණෙ නැහැ. අනික මෙතෙක් ලංකාව හොඳින්ම දස්කම් දැක්වුවේ මේ අවුරුද්දෙදි. (ලකුණු 74ක්) මීට පෙර 2006 දි ස්ලොවේනියාවෙදි ලැබුණෙ ලකුණු 71යි. සමස්ත ප්‍රතිඵලය අනුව ලංකාව ඉන්නෙ රටවල් 104ක් අතරින් 50වැනි ස්ථානයෙ. නෝර්වේ, ස්වීඩන්, ස්පාඤ්ඤය, බංග්ලාදේශය, පකිස්තානය ‍වගේ ගොඩක් රටවල් ඉන්නෙ ලංකාවට පිටුපසින්.
මෙවර සහභාගී වුණු කිසිම කෙනෙකුට ලබන වර කසකස්ථානයේ පැවැත්වෙන ඔලිම්පියාඩයට සහභාගී වෙන්න බැහැ (වයස ප්‍රශ්නය නිසා). ඒත් මේ කාටත් දැන් තියෙන්නෙ එකම අරමුණක්. ඒ මීළඟ අවුරුදුවල දී වත් ලංකාවේ රිදී සහ රන් සිහින සැබෑ කිරීමට ගණිත ඔලිම්පියාඩ් පදනමට උපරිම සහයෝගය ලබාදීම.

ප.ලි. ගමන අතරතුර බ්ලොග් කරනව කියල කිව්වත් විවිධ ප්‍රශ්න නිසා ඒක කරන්න බැරි වුණා. පස්සෙ ගමනෙ රසමුසු තැන් එක්ක පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. අපි ලංකාවට ආවෙ 23 වැනිදා (බ්‍රහස්පතින්දා).

මෙම ලිපියට ප්‍රතිචාර 3 කි:

සමීර විමලරත්න said...

අගනේය අගනේය!!!
අපෙන් උණුසුම් සුභ පැතුම්!!

Unknown said...

congrats!!
well done guys!!

පොතේ ගුරා said...

කණ්ඩායමටම අපෙන් සුබ පැතුම්.. :)

අදහස් ලියලම යන්න