Monday, February 1, 2010

වැඩි ආරස්සාවට Dropbox


දැන් අපේ වැඩකටයුතු කරගන්න පරිගණකය කියන්නෙ නැතුවම බැරි දෙයක්. ඒක තවත් එක් උපාංගයක් නෙවෙයි. අපේ ජීවිතේ කොටසක් වගෙයි. අපේ ජීවිතේ වැදගත්ම තොරතුරු ගබඩා කරල තියෙන්නෙ මේ පරිගණකය ඇතුළෙ. ඒත් එක මොහොතකින් මේ ඔක්කොම දත්ත විනාසවෙලා ගියොත්? confused

මේක අළුත් ප්‍රශ්නයක් නෙවෙයි. ඉස්සර ඉඳලම මේකට විසඳුමක් විදියට කළේ දත්ත උපස්ථ කිරීම, එහෙමත් නැත්නම් තේරෙන බාසාවෙන් කියනව නම් බැකප් කරන එක. ගොඩක් අය කළේ CD හෝ DVD තැටි, බාහිර දෘඪ තැටි, චුම්බක පටි වගේ මාධ්‍ය පාවිච්චි කරල තමන්ගෙ දත්ත උපස්ථ කරපු එක.

නමුත් අධිවේගී අන්තර්ජාලය ජනප්‍රිය වෙන්න ගත්තට පස්සෙ නැවුම් උපස්ථ මාධ්‍යයක් මේ අතරට එක් වුණා. ඒ තමයි ලෝකයේ විවිධ තැන්වල ඇති සේවාදායකවල (servers) තමන්ගෙ වැදගත් ගොනු උපස්ථ කිරීම. මේවට සේවාවලට කියන්නෙ file hosting services කියල. උදාහරණ විදියට Mediafire, Rapidshare, Microsoft Skydrive සහ Dropbox නම් කරන්න පුළුවන්. මේ අතරින් අපේ එදිනෙදා අවශ්‍යතාවලට ගොඩක්ම ප්‍රයෝජනවත් සේවාවක් තමයි Dropbox.

මොකක්ද මේ Dropbox?

Dropbox කියන්නෙ තවත් එක මාර්ගගත උපස්ථ සේවයක් විතරක් නෙවෙයි. මේ මගින් අපට අපේ වැදගත් ගොනු සමමුහුර්ත කිරීමේ (file synchronizing) හැකියාවත් ලබාදෙනව. ගොනුවක් සමමුහුර්ත කරනව කියන්නෙ අපි අපේ පරිගණකයෙ ඉඳගෙන මොනවහරි වෙනසක් සිදු කළොත් ඒ වෙනස ඒ විදියටම ගොනුව උපස්ථ කරල තියෙන ස්ථානයෙත් සිදුවීමයි. ඉතින් යම් හේතුවක් නිසා අපේ දත්තවලට හානියක් සිදුවුණොත් ඒව තිබුණු විදියටම ප්‍රතිස්ථාපනය කරගැනීමේ හැකියාව අපිට ලැබෙනව.

Dropbox සේවාව අපට ලැබෙන්නෙ නොමිළේ. මුලින් 2GB ඉඩක් ලැබුණත් මිතුරන්ට ආරාධනාකිරීම මගින් ඒ ඉඩ 5GB විතර වෙනකං වැඩි කරගන්න පුළුවන්. මිතුරෙක් විසින් පිළිගන්න ආරාධනාවක් සඳහා 250MB වැඩිපුර ඉඩක් අපිට ලැබෙනව. මීටත් වඩා ඉඩ වැඩිකරගන්න ඕන නම් ගෙවල ලබාගන්න පුළුවන්.
wink

Dropboxවල තවත් විශේෂත්වයක් තමයි අපිට පරිගණක කිහිපයක් තියෙනම් ඒ සියල්ල එකම ගිණුමකට සමමුහුර්ත කිරීමේ හැකියාව. උදාහරණයක් විදියට අපේ රාජකාරි ස්ථානයේ පරිගණකයත් ගෙදර පරිගණකයත් මෙය සමග සම්බන්ධ කළා කියල හිතමු. එතකොට එක් පරිගණකයකින් අනෙකට දත්ත හුවමාරුකරන්න විශේෂ මහන්සියක් වෙන්න ඕන නැහැ. රාජකාරී වෙලාවෙ කර කර හිටපු වැඩේ ගෙදර ගිහින් නවත්තපු තැන ඉඳල පටන් ගන්න පුළුවන්.
razz

අපි උපස්ථ කරන ගොනුවලට ප්‍රවේශවෙන්න පුළුවන් අපිට විතරයි. ඒත් අවශ්‍ය නම් තෝරාගත් ගොනු Public ලෙස නම් කර කාටත් බලාගන්න පුළුවන් වෙන විදියට සෘජු සබැඳිවුණත් ගන්න පුළුවන්.

ඉතින් මේකට අසීමිත සබඳතාවයක් ඕන නැද්ද?
rolleyes


ADSL නැති අපි වැඩිදෙනෙකුට තවමත් තියෙන්නෙ සීමිත අන්තර්ජාල සබඳතා. නමුත් Dropbox භාවිතයට මේක ගැටලුවක් නෙවෙයි. Dropbox ස්ථාපනය කළාම අපේ පරිගණකයෙ Dropbox කියල ෆෝල්ඩරයක් හැදෙනව. ලිනක්ස්වලදි නම් මේක හැදෙන්නෙ Home ෆෝල්ඩරයෙ. වින්ඩෝස්වලදි නම් My Documents ෆෝල්ඩරයෙ. අපිට තියෙන්නෙ අපිට උපස්ථ (හෝ සමමුහුර්ත) කරන්න අවශ්‍ය ගොනු මේ ෆෝල්ඩරයට ඇදල දාන එක. මේ නිසා සේවාදායකයට යන්නෙ අපි තෝරගත්තු ගොනු විතරයි. අනවශ්‍ය විදියට බෑන්ඩ්විත් කා දැමීමක් වෙන්නෙ නැහැ.

අනෙක් අතට හැම වෙලේම අන්තර්ජාල සබඳතාවය තියෙන එකත් අවශ්‍යතාවයක් නෙවෙයි. ජාලයට සම්බන්ධවුණු වෙලාවට ඉබේම අපේ දත්ත සමමුහුර්ත වෙනවා.

මේ සේවය ලබාගන්නෙ කොහොමද?

ඕන කෙනෙකුට පහසුවෙන් මේක කරගන්න පුළුවන්. Dropbox අඩවියට ගිහිල්ල අපට අවශ්‍ය මෙහෙයුම් පද්ධතියට සෙටප් ගොනුව බාගෙන ස්ථාපනය කරන්නයි තියෙන්නෙ. දැනට Dropbox ගිණුමක් නැත්නම් ස්ථාපනය අතරතුරදිම ගිණුමක් හදාගන්න පුළුවන්. සරලයි සුගමයි.
lol

ආරම්භයක් විදියට අපේ bookmarks list එක, feeds list එක වගේ වැදගත් ගොනු කිහිපයක් උපස්ථ කරල බලන්න. අපට නිතරම අවශ්‍ය වෙන ගොනු Dropboxට ඇදදැමීමෙන් ලෝකෙ කොහේ හිටියත් අපට ඒ ගොනුවලට ප්‍රවේශ වෙන්න පුළුවන්.

මීට අමතරව වෙනත් සේවා ගැන අත්දැකීම් තියෙනම් ප්‍රතිචාරෙකුත් දාලම යන්න.
smile

Thursday, January 21, 2010

අළුත් අවුරුද්දේ GRUB සමග ගනුදෙනු - 2 කොටස



එදා GRUB එක ගොඩ දාපු කතාව පටන් ගත්තට ඉවර කළෙ නැහැනෙ. අද ඉතුරු ටික. එදා කියපු විදියට GRUB එකේ තියෙන වින්ඩෝස් පාටිෂන් එකේ UUID එක වැරදියි. UUID කියල කියන්නෙ Universally Unique Identifier කියන එක. නමින් කියවෙන විදියටම මේකෙ එකම අගය උපකරණ දෙකකට තියෙන්න බැහැ. අපේ වැඩේට ඒ විස්තර ඕන නැහැ. smile කරන්න තියෙන්නෙ GRUB එකට හරියට UUID එක යොදන එක.



මුලින්ම හොයාගන්න ඕන අපේ වින්ඩෝස් පාටිෂන් එකේ නියම UUID එක මොකක්ද කියල. මේකට පාවිච්චි කරන්න පුළුවන් විධානයක් තියෙනවා.

ls /dev/disk/by-uuid


මේක දුන්නම එන්නෙ මෙන්න මේ වගේ ප්‍රතිඵලයක්:


(මේ screenshots ගත්තෙ වැඩේ කළාට පස්සෙ මගේ ලැපෙන්)

දැන් ලොකු ප්‍රශ්නයක්. මොකක්ද අපිට ඕන කරන UUID එක. confused කෝකටත් කියල

gedit /boot/grub/grub.cfg


විධානය දීල බැලුව මොනවද දැනට තියෙන UUID කියල. එතනින් ඕන කරන ඔත්තුව ලැබුණා. razz ලිනක්ස් පාටිෂන්වල (EXT4) UUID ඔක්කොම ඔය screenshot එකේ තියෙන ඒවයින් දිගින් වැඩි වර්ගයේ ඒවා. (උදා: c25e1bea-312d-4c64-9fa5-bde80d355b50) වින්ඩෝස් පාටිෂන්වල තියෙන්නෙ කොට UUID. (උදා: A298B4D698B4AA65) මේකට හේතුව නම් දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්න.

දැන් ඉතුරුවෙලා තියෙන්නෙ UUID තුනයි. මේ අතරින් එකක් හරියට GRUB එකේ Windows Recovery මෙනු අයිතමයෙ සඳහන් වෙලා. එතකොට ඉතුරුවෙන්නෙ තව දෙකයි. දැන් හොයාගන්න ඕන මොකක්ද හරි එක කියල. සමහර විට ටර්මිනලයෙන්ම මේක හොයාගන්න ක්‍රමයක් ඇති. නමුත් එහෙම ක්‍රමයක් දන්නෙ නැති නිසා මේ UUID දෙක කොළේක ලියාගෙන මැෂිම ප්‍රතිපණගන්වලා GRUB එකේදි අර පසුගිය ලිපියෙ කියපු විදියට e අකුර ඔබලා දෙකම වෙන වෙනම දාල බැලුවා. දෙවෙනියට දාපු UUID එක වැඩ.

දැන් තියෙන්නෙ GRUB එකේ මේ UUID එක replace කරන එක. GRUB2 එකේ මෙනු අයිතමයක UUID එක වෙනස්කරන ක්‍රමයක් හොයාගන්න බැරිවුණා. දැන් කරන්න තියෙන්නෙ අළුත් මෙනු අයිතමයක් එකතු කරන එක. මේක කරන්න ක්‍රමයක් මෙන්න මෙතන තිබිල හොයාගත්ත. මෙන්න මේ විදයටයි අදාළ ගොනුව ලිව්වෙ:

echo "Windows Vista ;)"
cat << EOF
menuentry "Windows Vista ;)" {
insmod ntfs
set root=(hd0,1)
search --no-floppy --fs-uuid --set dc7e112b7e10ffc6
chainloader +1
}
EOF


ඔතන ඔය ;) කියල දැම්මෙ ආතල් එකට. lol මේක දැන් 24_amigo කියල /etc/grub.d/ ඩිරෙක්ටරියෙ save කළා. 24 කියල මුලින්ම දාන්න හේතුවක් තියෙනවා. grub.d ඩිරෙක්ටරියෙ තියෙන ගොනු මොනවද කියල බැලුවොත් මෙන්න මේ වගේ තමයි පේන්නෙ:


හැම ගොනු නමක්ම පටන් ගන්නෙ සංඛ්‍යාවකින්. ඒ අංකවල පිළිවෙලට තමයි මේව ක්‍රියාත්මක වෙන්නෙ. දැනට තියෙන වින්ඩෝස් මෙනු අයිතමවලට අදාළ දත්ත තිබුණෙ 30_os-prober කියන ගොනුවෙ. මේ නිසා ඊට අඩු අගයකින් පටන් ගන්න නමක් දාන්න ඕන. ඒ හින්දයි 24 කියල දැම්මෙ. (25 නොදා 24 දැම්මෙ ඒක අපි හදපු එකක් කියල මතක් වෙන්න wink)

මීළඟට කරන්න ඕන අපි හදපු ගොනුව ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ (executable) කරන එක. මේකට කරේ:

sudo chmod +x 24_amigos


විධානය දීපු එක. සරලයි සුගමයි. අන්තිම පියවර තමයි GRUB එක update කිරීම. මේක GRUB2 එක්ක ආපු නවාංගයක්. අදාළ ගොනු වෙනස් කළාට වැඩක් නැහැ අප්ඩේට් කළෙ නැත්නම්. අප්ඩේට් කරන එකේ හොඳක් තමයි අපි වෙනස් කරපු පේළිවල වැරදි තියෙනම් ඒව පෙන්නල දෙන එක.

sudo update-grub


දැන් ඉතින් දෙයියො බුදුන් සිහිකරගෙන මැසිම ප්‍රතිපණගැන්නුවා. බබා වගේ වැඩ. razz හොඳ අත්දැකීමක්.

ඔන්න ඔහොමයි අළුත් අවුරුද්දෙ GRUB එකත් එක්ක වැඩ ඇල්ලුවෙ. ඉස්සරහට තව මොනව වෙයිද දන්නෙ නැහැ. වැදගත් දෙයක් වුණොත් අනිවා බ්ලොග් එකේ දාන්නම්. මෙතන මම කරල තියෙන දෙයක වැරැද්දක් හරි ගැටලුවක් හරි තියෙනම් ප්‍රතිචාරයක් දාලම යන්න. හරි, දැන් ඉතින් හෙට විබාගෙට පාඩම් කරන්න යන්න ඕන. cry

Tuesday, January 19, 2010

අළුත් අවුරුද්දේ GRUB සමග ගනුදෙනු - 1 කොටස


අවුරුද්ද පටන් ගත්ත ගමන් GRUB ප්‍රශ්න ආයිත් එන්න ගත්තා. මේක ආවෙ අපේ සඳුන්ගේ ලැපෙන්. සඳුන් වින්ඩෝස් විස්ටා රිකවරියක් දාලා, එතකොට ඉතින් GRUB එක යන එක අහන්න දෙයක් නැහැනෙ. wink මේක සාමාන්‍ය සිදුවීමක්. ඒත් අළුත් GRUB2 එක්ක කලින් මට්ටුවෙලා තිබුණෙ නැහැ.

මේකට තියෙන්නෙ සරල විසඳුමක්. මුලින්ම උබුන්ටු Live CD එකකින් පරිගණකය පණගන්වන්න ඕන. අපි නම් කළේ Live USB එකකින්. උබුන්ටු ලෝඩ් වුණාට පස්සෙ ටර්මිනලයක් අරගෙන වැඩේට බහින්න ඕන. ඉස්සෙල්ල දැනගන්න ඕන ලිනක්ස්වල බූට් පාටිෂන් එක. දන්නෙ නැත්නම්

sudo fdisk -l


විධානයෙන් බලාගන්න පුළුවන්. සඳුන්ගෙ ලැපේ නම් ඒක තිබුණෙ /dev/sda6 විදියට. හරි. මීළඟට ඒ පාටිෂන් එක මවුන්ට් කරගන්න ඕන මෙන්න මේ විදියට.

sudo mount /dev/sda6 /mnt


මෙතන මං හිතන්නෙ /mnt වෙනුවට කැමති වෙන තැනක් දෙන්න වුණත් පුළුවන්.

දැන් තියෙන්නෙ GRUB එක ප්‍රතිස්ථාපනය කරන එක. ඒකටත් එක විධානයයි.

sudo grub-install --root-directory=/mnt /dev/sda


මෙතන දෙන්න ඕන sda කියල මිසක් sda6 කියල නෙවෙයි. වැරදිලා එහෙම කරන්න ගිහිල්ලා එරර් මැසේජ් එකක් ආවම තමයි ඒකත් දැනගත්තෙ. biggrin
හරි, දැන් තියෙන්නෙ පරිගණකෙ ප්‍රතිපණගන්වන එක. ඕන නම් ඊට කලින් වැඩි ආරස්සාවට කියල

sudo umount /mnt


මගින් අර මවුන්ට් කරපු පාටිෂන් එක අන්මවුන්ට් කරල ඉන්න පුළුවන්.

දැන් වැඩේ ගොඩ. ඇත්තටම අපිට නම් එක පාරින් ගොඩ දාගන්න බැරිවුණා. මුල් සැරේ වැරදිලා sda5 කියල දාල ඒ වැරැද්ද තේරුම් ගන්න දෙසැරයක් විතර ආයිත් ලයිව් සීඩී එකෙන් යන්න වුණා. lol

දැන් ඉතින් GRUB එකත් හැදුව කියල සතුටින් හිටියයි කියමුකො. පස්සෙ තමයි අහුව්ණේ GRUB මෙනුවෙ වින්ඩෝස්වලට යන විකල්පය වැඩකරන්නෙ නෑ කියලා. ඒ විකල්පය තෝරලා Enter එබුවට මොකුත් වෙන්නෙ නැහැ. eek මේ වගේ වෙලාවට සාමාන්‍යයෙන් කරන දේ තමයි e අකුර ඔබලා GRUB menu entry එක එඩිට් කරන එක. ඒත් වරදක් කියල දෙයක් හොයාගන්න බැරිවුණා. හරෙ මෙහෙ කර කර බලන කොට තමයි තේරුණේ GRUB එකේ තියෙන වින්ඩෝස් පාටිෂන් එකේ UUID එක වැරදියි කියල.

ඉස්සර නම් මේකට විසඳුම පොඩි දෙයක්. menu.lst ගොනුව වෙනස් කරන එක විතරයි කරන්න තියෙන්නෙ. ඒත් GRUB2 වෙනස්. තාම නුහුරුයි. ඒකට දීපු විසඳුම මීළඟ බ්ලොග් පෝස්ට් එකෙන් ගේන්නම්. විබාගෙට පාඩම් කරන්නත් තියෙනවනෙ. rolleyes