Sunday, September 6, 2009

GRUB මෙනුවට හැඩ වැඩ දාමු

දැන් අපේ ගොඩක් කස්ටිය පාවිච්චි කරන්නෙ වින්ඩෝස් - ලිනක්ස් ද්විත්ව ස්ථාපන (dual boot) නෙ. ඉතින් පරිගණකය දාපු ගමන් ඉස්සර වගේ වින්ඩෝස්වලට යන්නෙ නැහැ. මුලින්ම මෙනුවක් පෙන්නනවා අපිට ඕන පද්ධතිය තෝරගන්න. මෙන්න මේ වගේ:


මේකට කියන්නෙ GRUB (ග්‍රබ්) මෙනුව කියල. මෙතනින් ඕන මෙහෙයුම් පද්ධතිය තෝරගත්තට පස්සෙ තමයි පරිගණකය ඉස්සරහට යන්නෙ. මොකුත් ඔබන්නෙ එහෙම නැතුව හිටියොත් තත්පර 10කින් උඩින්ම තියෙන මෙහෙයුම් පද්ධතිය ඉබේට පණගැන්වෙනවා. ගොඩක් අය කරල තියෙන විදියට වින්ඩෝස් එක්ක උබුන්ටු දාල නම් උඩින්ම තියෙන්නෙ උබුන්ටු.

GRUB මෙනුව ගොඩක් ප්‍රයෝජනවත් වුණත් මේකත් එක්ක සම්බන්ධ වෙච්ච ගැටලු කීපයක් තියෙනවා.
1. තත්පර 10ක් යනතුරු යතුරක් ඔබන්නෙ නැතුව හිටියොත් උඩින්ම තියෙන මෙහෙයුම් පද්ධතියට ඉබේම යෑම. වින්ඩෝස්වලට යන්න මැෂින් එක දැම්මම අමතක වෙලා ලිනක්ස්වලට යන එක ගොඩක් අයට අළුත් අත්දැකීමක් නෙවෙයි
2. වින්ඩෝස් ඔප්ෂන් එක මෙනුවේ යටින්ම පිහිටීම
3. අවලස්සන කළු සුදු තිරය - පොඩ්ඩක් පාට කරල ගන්න තියෙනම්!

ඉතින් මේ ප්‍රශ්නවලට විසඳුමක් නැද්ද? GRUB මෙනුව ගැන විස්තර තියෙන්නෙ /boot/grub/menu.lst කියන තැන. විසඳුම තියෙන්නෙ එතන. මේ ෆයිල් එකේ පොඩි පොඩි වෙනස්කම් කරල GRUB මෙනුව අපිට කැමති විදියකට වෙනස් කරගන්න පුළුවන්.

හැබැයි මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මෙතනින් පහළ තියෙන දේවල් කරන්න ගිහිල්ල මොනව හරි අලාභහානියක් වුණොත් වගකියන්න වෙන්නෙ තමන්ටම බව. මේව මම අත්හදා බලල තමයි තියෙන්නෙ. ඒත් එක සැරයක් පොඩි වැඩ කෑල්ලක් දාන්න ගිහිල්ල නූලෙන් බේරුණෙ. ඒ නිසා බොහොම ප්‍රවේසමෙන් කරන දෙයක් කරන්න.

ඔක්කොටම කලින් කරන්න ඕන menu.lst ෆයිල් එක විවෘත කරගන්න එක. ටර්මිනල් එකක් අරගෙන මේ විධානය දෙන්න:

sudo gedit /boot/grub/menu.lst


දැන් menu.lst, geditවලින් විවෘත වේවි. ඔක්කොම වෙනස්කම් කරන්න තියෙන්නෙ මෙතන තමයි. ඔය # ලකුණුවලින් පටන් අරගෙන තියෙන්නෙ comments. ඒවයෙ බලපෑමක් නෑ. පොඩ්ඩක් හොඳට බැලුවොත් කරන්න ඕන වෙනස්කම් කරන හැටි නිකම්ම වගේ තේරෙයි.

1. Timeout වෙනස් කිරීම
menu.lst ෆයිල් එකේ timeout කියල ලියල තියෙන තැන හොයා ගන්න. කලින් වෙනස් කරල නැත්නම් මෙතන තියෙන්නෙ timeout 10 කියල. ඒ කියන්නෙ අර තත්පර 10කින් උඩම තියෙන පද්ධතිය ඉබේට පටන්ගන්න කතාව. මෙතන 10 වෙනුවට 30 වගේ ආදේශ කළොත් තත්පර 30ක් යනතුරු Grub මෙනුව නැතිවෙන්නෙ නෑ. ඕන නම් 10ට වඩා අඩු කරන්නත් පුළුවන්.

2. මෙනුවේ අයිතමවල පිළිවෙල සැකසීම
menu.lst වල යටටම ගියොත් බලාගන්න පුළුවන් Grub මෙනුවෙ දිස්වෙන අයිතම ටික පිළිවෙලට තියෙනවා. හැබැයි ටිකක් විකාර විදියකට තියෙන්නෙ. නිකං මෙන්න මේ වගේ:

title Ubuntu 9.04, kernel 2.6.28-11-generic
uuid ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb
kernel /boot/vmlinuz-2.6.28-11-generic root=UUID=ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb ro quiet splash
initrd /boot/initrd.img-2.6.28-11-generic


# This entry automatically added by the Debian installer for a non-linux OS
# on /dev/sda1
title Windows Vista (loader)
rootnoverify (hd0,0)
savedefault
chainloader +1


බය වෙන්න දෙයක් නැහැ. මෙනුවෙ පිළිවෙල වෙනස් කරන්න අපිට තියෙන්නෙ අදාළ කොටස්වල පිළිවෙල වෙනස්කරන එක. ඉතින් අපිට ඕන නම් මෙනුවෙ මුදුනටම වින්ඩෝස් දාගන්න අදාළ කොටස උඩටම ගෙනියන්න. මෙන්න මේ වගේ:

title Windows Vista (loader)
rootnoverify (hd0,0)
savedefault
chainloader +1

title Ubuntu 9.04, kernel 2.6.28-11-generic
uuid ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb
kernel /boot/vmlinuz-2.6.28-11-generic root=UUID=ab9e8bb5-a876-4388-bc32-f4fd27bbefbb ro quiet splash
initrd /boot/initrd.img-2.6.28-11-generic


දැන් වින්ඩෝස් තියෙන්නෙ උබුන්ටුවලට වඩා උඩින්. පොඩ්ඩක් අතපතගාල බැලුවොත් මේ මෙනුව අපිට ඕන විදියකට වෙනස් කරගන්න පුළුවන් බව තේරේවි.

3. මෙනුවට රූපයක් දැමීම
කළු පාට පසුබිම වෙනුවට අපිට පාට පින්තූරයක් දාන්නත් පුළුවන්! මේවට කියන්නෙ splash screens කියල. grub splash screens කියල ගූගල් සෙවුමක් දැම්මම මේ පින්තූර ගොඩක් හොයාගන්න පුළුවන්. නැත්නම් තමන්ටම කියල වුණත් එකක් හදාගන්න පුළුවන්. ඒක කරන හැටි මෙතන තියෙනවා. මේ රූප තියෙන්නෙ .xpm.gz කියන ෆෝමැට් එකට. ඒ කියන්නෙ .xpm පින්තූර .gz ආකාරයට සිප් කරලා. දැන් අවශ්‍ය රූපය /boot/grub/ ඩිරෙක්ටරියට කොපිකරලා menu.lst එකේ උඩින් මේ පේළිය ඇතුළත් කරන්න:

splashimage=(hd0,5)/boot/grub/splash.xpm.gz


ඔතන splash.xpm.gz කියන තැනට ඇත්තටම දාන්න ඕන පින්තූරෙ නම. hd0,5 කියන තැනට ලිනක්ස් බූට් පාටිෂන් එකේ අංකය දෙන්න.

දැන් ඉතින් menu.lst save කරල දෙයියො බුදුන් සිහිකරගෙන මැෂිම රීස්ටාට් කරන්න. වැඩේ හරියට කළා නම් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. මට නම් අවුලක් නැතුව වැඩකළා.


දැන් නම් ඉතින් මැෂිම දාන්නෙ හරිම ආසාවෙන්. පැයකට දෙකකට සැරයක් රීස්ටාට් කරනවා Grub මෙනුව බලන්න. :D



සිංග්‍රීසි නව 1.6 සංස්කරණය: http://singreesi.vndv.com

Saturday, August 22, 2009

ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි

අපි පොඩි කාලෙ පඳුරකට ගැහුවම පහ හයක් එළියට විසිවෙන තරම් ටීවී චැනල් තිබුණෙ නැහැ. දෙකයි තුනයි තිබුණෙ. ඒ තිබුණ ඒවයිනුත් අපි නිතරම බැලුවෙ ජාතික රූපවාහිනිය තමයි. මතක විදියට ඒ කාලෙ බලන්න නුසුදුසුයි කියල කිසිම වැඩසටහනක් තිබුණෙ නැති තරම්. ඒත් තිබුණු සුළු වැඩසටහන් ගොන්නෙනුත් වැඩිපුරම හිත ගිහිල්ල තිබුණෙ ඔෂින්, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වගේ වැඩසටහන්වලට. මේ ඔක්කොම අපේ ටයිටස් තොටවත්තයන්ගෙ නෙව. ඔය කාලෙම තමයි විශේෂ අධ්‍යාපන සේවය කියල එකකුත් රූපවාහිනියෙ පටන් ගත්තෙ. මේකෙත් ගොඩක් බලන්න වටින වැඩසටහන් ප්‍රචාරණය වුණා. ගී හත, මනෝහාරි වගේ සංගීත වැඩසටහනුත් නොවැරදීම බලනවා. ඇයි අපේ හේම නලීන්ගෙ නමයයි පහ?

මේ දවස්වල ගියපු වැඩසටහන් ගැන නොකියම බැරි දෙයක් තමයි ඒවයින් ජීවිතේට ගන්න පුළුවන් ගොඩක් දේවල් තිබුණය කියන එක. අපි දැන් කරන කියන දේවලුත් සමහර විට ඒවයින් ආභාෂය ලබන්න ඇති. ඒත් දැන් ටීවී චැනල්වල යන දේවල් දකින ළමයි හැදෙන විදිය හිතාගන්න බෑ. ජාතික රූපවාහිනියෙ වුණත් එදා වගේ සංයමයක් ඇතුව ප්‍රවේසමෙන් වචන හසුරවපු නිවේදකයො අද අඩුයි.

මේ කාලෙ රූපවාහිනියෙ ගියපු සින්දුවක් මට අද ‍වගේ මතකයි. මොනවද මුත්තේ මොකද කරන්නේ ඇහෙන කොටම ටීවී එක ළඟට දුවන් එනව. මේක කියවන ගොඩක් අයටත් හොඳට මතක ඇති. ඒ කාලෙ ඔය සින්දුවෙ බරක් පතලක් නො‍තේරුණාට හොඳට හිතේ තැන්පත්වෙල තිබුණා. සීය කෙනෙකුත් පොඩි ළමයෙකුත් අතරෙ ඇතිවෙන කතාබහක් තමයි මේකෙ යන්නෙ.

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ‍ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරන්නෙමි

දුක සේ සිටුවා අඹ ඇ‍ටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොමතේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුවොත් කොහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
පලයෙන් අපි කවුරුත් ලබනෙම් පල
අපෙන් පසුව එන අයටත් එම පල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

කොයිතරම් වැදගත් තේරුමක් තියෙන සින්දුවක්ද? දැන් තියෙන "අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" වගේ නෙවෙයි. වාසනාවට යූ නළයෙ තිබිල මේකෙ වීඩියෝ එකකුත් හම්බවුණා.



ඔය වීඩියෝ එකේ රූප බොඳවෙලා වගේ තියෙන්නෙ වැරදීමකින් නෙවෙයි. ඔරිජිනල් එකේ තියෙන්නෙත් එහෙමමයි. ඒකෙ "පෙර උන් අය සිටවූ අඹ ගස්වල..." කොටසෙදි සීය අඬනව දකින කොට ඇස්වලින් කඳුළු නොඑන්නෙ කාගෙද?

Thursday, August 20, 2009

ඔරිගමි ගැන වචනයක් දෙකක්


ඔරිගමි කිව්වම කස්ටියට මතක් වෙන‍්නෙ මොනවද? මට නම් මතක් වෙන්නෙ පොඩි කාලෙ වැස්ස දවසට හදල පා කරපු බෝට්ටු. සමහරුන්ට නම් ඉස්කෝලෙ කාලෙ එක්සයිස් පොතේ මැද පිටුව ඉරල හදපු ප්ලේන් මතක් වෙනව ඇති.












මේ දවස්වල ඔරිගමි ගැන ටිකක් හොයල බලපු හින්ද හිතුණ ඔරිගමි ගැන පෝස්ට් එකක් දාන්න. ඇත්තටම ඔරිගමි කියන්නෙ අර කලින් කිව්ව වගේ නිර්මාණ කීපයකට හිරවෙල තියෙන දෙයක් නෙවෙයි. මේක ලෝකෙ පුරා මිනිස්සු දහස් ගණන් තමන්ගෙ විනෝදාංශය විදියට කරන බොහොම ජනප්‍රිය වගේම පුළුල් පරාසයක විහිදිල තියෙන මාතෘකාවක්. අර වගේ සරල නිර්මාණ වගේම අර මුදුනෙ තියෙන රූපෙ වගේ ඉතා සංකීර්ණ නිර්මාණ දක්වා ඔරිගමි පැතිරිල තියෙනව.

අපි දන්න සාමාන්‍ය කොල හරේට මෙහෙට නවල හදන නිර්මාණවලට කියන‍්නෙ සාම්ප්‍රදායික ඔරිගමි කියල. තව ජාතියක් තියෙනව modular origami කියල. මේකෙදි කරන්නෙ එක වගේ පොඩි පොඩි කොටස් ගොඩක් හදල ඒව එකතු කරල ලොකු ලස්සන නිර්මාණ හදන එක. මේ රූපෙ බැලුවම තේරෙයි.




තව ජාතියක් තියෙනව කිරිගමි (kirigami) කියල. මේකෙදි කඩදාසිය නමනවට අමතරව කතුරෙන් කැපුමුත් දානව. මේ තියෙන්නෙ කිරිගමි නිර්මාණයක්. මේ විදියට කපල හදන්නෙ ගොඩක් වෙලාවට‍ මේ වගේ ගොඩනැගිලි වගේ දේවල්.

ඔරිගමි වටා නිර්මාණය වෙච්ච ගණිතයකුත් තියෙනවා. මේකට කියන්නෙ Origami Mathematics එහෙමත් නැත්නම් Origamics කියල. වැඩි විස්තර දැනගන්න කැමති නම් ඉතින් ගූගල් එකේ ගහල බැලුවම ඕන තරම් විස්තර හොයා ගන්න පුළුවන්. Origami diagrams කියල හෙව්වම ඔරිගමි නිර්මාණ දහස් ගාණක් කරන හැටි ඉගෙන ගන්න පුළුවන් විස්තර එනවා. මෙන්න මේ අඩවිය තමයි මගෙ ප්‍රියතම එක: http://dev.origami.com/diagram.cfm නිකම් ඉන්න ගමන් එකක් දෙකක් හදල බලන්න. වැඩි අමාරුවක් නෑනෙ. කඩදාසියක් අරගෙන අරහෙට මෙහෙට නමන එකනෙ. හැබැයි හොඳ ඔරිගමි නිර්මාණයක් හැදුවම හිතට ලොකු සතුටක් එනවා. දවසින් දවස හදල හොඳ ඔරිගමි එකතුවක් හදාගන්නත් පුළුවන්.

ඔරිගමි ගැන නම් කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ආයෙත් පස්සෙ දවසක බලමුකො.