Saturday, August 22, 2009

ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි

අපි පොඩි කාලෙ පඳුරකට ගැහුවම පහ හයක් එළියට විසිවෙන තරම් ටීවී චැනල් තිබුණෙ නැහැ. දෙකයි තුනයි තිබුණෙ. ඒ තිබුණ ඒවයිනුත් අපි නිතරම බැලුවෙ ජාතික රූපවාහිනිය තමයි. මතක විදියට ඒ කාලෙ බලන්න නුසුදුසුයි කියල කිසිම වැඩසටහනක් තිබුණෙ නැති තරම්. ඒත් තිබුණු සුළු වැඩසටහන් ගොන්නෙනුත් වැඩිපුරම හිත ගිහිල්ල තිබුණෙ ඔෂින්, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වගේ වැඩසටහන්වලට. මේ ඔක්කොම අපේ ටයිටස් තොටවත්තයන්ගෙ නෙව. ඔය කාලෙම තමයි විශේෂ අධ්‍යාපන සේවය කියල එකකුත් රූපවාහිනියෙ පටන් ගත්තෙ. මේකෙත් ගොඩක් බලන්න වටින වැඩසටහන් ප්‍රචාරණය වුණා. ගී හත, මනෝහාරි වගේ සංගීත වැඩසටහනුත් නොවැරදීම බලනවා. ඇයි අපේ හේම නලීන්ගෙ නමයයි පහ?

මේ දවස්වල ගියපු වැඩසටහන් ගැන නොකියම බැරි දෙයක් තමයි ඒවයින් ජීවිතේට ගන්න පුළුවන් ගොඩක් දේවල් තිබුණය කියන එක. අපි දැන් කරන කියන දේවලුත් සමහර විට ඒවයින් ආභාෂය ලබන්න ඇති. ඒත් දැන් ටීවී චැනල්වල යන දේවල් දකින ළමයි හැදෙන විදිය හිතාගන්න බෑ. ජාතික රූපවාහිනියෙ වුණත් එදා වගේ සංයමයක් ඇතුව ප්‍රවේසමෙන් වචන හසුරවපු නිවේදකයො අද අඩුයි.

මේ කාලෙ රූපවාහිනියෙ ගියපු සින්දුවක් මට අද ‍වගේ මතකයි. මොනවද මුත්තේ මොකද කරන්නේ ඇහෙන කොටම ටීවී එක ළඟට දුවන් එනව. මේක කියවන ගොඩක් අයටත් හොඳට මතක ඇති. ඒ කාලෙ ඔය සින්දුවෙ බරක් පතලක් නො‍තේරුණාට හොඳට හිතේ තැන්පත්වෙල තිබුණා. සීය කෙනෙකුත් පොඩි ළමයෙකුත් අතරෙ ඇතිවෙන කතාබහක් තමයි මේකෙ යන්නෙ.

මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ‍ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරන්නෙමි

දුක සේ සිටුවා අඹ ඇ‍ටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොමතේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුවොත් කොහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
පලයෙන් අපි කවුරුත් ලබනෙම් පල
අපෙන් පසුව එන අයටත් එම පල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

කොයිතරම් වැදගත් තේරුමක් තියෙන සින්දුවක්ද? දැන් තියෙන "අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" වගේ නෙවෙයි. වාසනාවට යූ නළයෙ තිබිල මේකෙ වීඩියෝ එකකුත් හම්බවුණා.



ඔය වීඩියෝ එකේ රූප බොඳවෙලා වගේ තියෙන්නෙ වැරදීමකින් නෙවෙයි. ඔරිජිනල් එකේ තියෙන්නෙත් එහෙමමයි. ඒකෙ "පෙර උන් අය සිටවූ අඹ ගස්වල..." කොටසෙදි සීය අඬනව දකින කොට ඇස්වලින් කඳුළු නොඑන්නෙ කාගෙද?

මෙම ලිපියට ප්‍රතිචාර 20 කි:

Kanishka said...

හම්.... මාවත් දන්නෙම නැතුව ආයෙත් ඒ අතීතයට ගියා...

Gayan Balasooriya said...

එකක් තමයි ඒ දවස් වල බද්දක් තිබ්බ රූපවාහිනි වලට. ඉතින් ඕක නිසා ජාතික රූපවාහිනියට සල්ලි හොයන්න මාර්කට් එකට වැඩසටහන් හදන්න ඕනෙ උනේ නැහැ. නමුත් දැන් ඒකත් වාණිජකරනය වෙලා මිනිස්සු (වෙළෙන්දො ) ඉල්ලන සීනි බෝල දෙනව. සල්ලි තමයි වැදගත් හැමෝටම (උනුත් ජීවත් වෙන්න එපැයි ).

සමීර විමලරත්න said...

දැන් වැඩිපුර ඉන්නේ සිංහල කතකරන්න දන්නේ නැති නිවේදකයොනේ!!

magelokaya said...

ඔය සින්දුව අහපු පොඩි දරුවෙක් දැන් බේතකටවත් හොය ගන්න පුලුවන්ද කියලයි සැක....

කොහොමත් යූ නලයෙ තව ලස්සන ලමා ගීත කීපයක්ම තියෙනවා....

තමීර මල්ලීට ස්තූතියි...

Kaushalya said...

ඔය වැඩි දෙනෙක් කියන්නෙ මිනිස්සු ඉල්ලන දේවල් දෙනව කියලනෙ.
ඒ කාලෙ මිනිස්සු හොඳ වැඩසටහන් කොච්චර රස වින්දද?
පුද්ගලික මාධ්‍ය හා වෙලෙන්දො හදන්නෙ "ගොන් දෙපැය" වගේ ජරාව පෙන්නල මිනිස්සුන්ගෙ රසඥතාව බස්සන්න.
එතකොට මිනිස්සුන්ව රවට්ටන්න, තම තමන්ගෙ වෙළඳ අරමුණු ඉටු කර ගන්න ලේසියි.
රූපවාහිනියත් මාකට් එක තියෙන්නෙ ඒවට කියල හිතාගෙන ඒ කුනු කානුවටම බැසීම තමා අවාසනාව!

තමීර said...

@Kanishka ඔව් මචං, ඒක කොච්චර සුන්දර අතීතයක්ද

@Gayan Balasooriya ඇත්ත. ඒත් වාණිජකරණය කරන්න සීනිබෝල දෙන්න ඕන නැහැ.

@සමීර විමලරත්න ඔව් බං, පුළුවන් වු‍ණත් සිංහලෙන් කතා කරනවය, කොහොම හරි මැදට ඉංග්‍රීසි කෑලි දෙක තුනක් දාගන්න එපැයි.

@magelokaya දැන් අය මේ සින්දුව ගැන දන්නෙ නැහැ.
ඔව්, ඔය අඹ යාලුවෝ එකේ ‍එහෙම සින්දුත් තියෙනවා

@Kaushalya සිරාවට මචං, මිනිස්සු දැන් ගොන් දෙපැය එහෙම බලන්නෙ ඒක උන්ට ඕන හින්ද නෙවෙයි, ඒකට ඇබ්බැහි වෙලා නිසා. ඔය ජරාව බෙදන්න පටන් ගත්ත මාධ්‍ය‍ මොනවද කියල කියන්න ඕන නැහැනෙ.

Supun Budhajeewa said...

ලස්සන සින්දුවක්. මට මතක හැටියට මම මේ සින්දුව අන්තිමට ඇහුවේ මම දෙක වසරේ නැත්නං තුන වසරේ ඉන්නකොට (1999-2000). ඒකාලෙ අන්තර්ජාලයක් කියල එකක් ගැන අහල තිබ්බෙත් නෑ, ආපහු මේ සින්‍දුව මෙහෙම අහන්න ලැබෙයි කියල හිතුනෙත් නෑ, කොටින්ම මේක ගැන මතකයක් තිබ්බෙත් නෑ. ඉතිං තමීර අයියට ගොඩක් ස්තුතියි මේ සින්‍දුව ගැන ලිවුවට.

රූපවාහිනී ව්‍යාපාරය - රූපවාහිනිය යනු තවදුරටත් "ජන මාධ්‍යයක්" නොවේ. එය නැති ඉල්ලුමක් නිර්මාණය කොට. සැපයුම ගන්නට ජනයා පොළඹවන කෘත්‍රීම ව්‍යාපාරයකි - ගැන නං කතා කරන එක අපේ කාලය නාස්ති කරගැනීමක් විතරයි. නමුත්, රූපවාහිනිය පැත්තක දාලා තමන්ට ඕනෑ අන්‍තර්ගතයක් ලබාගන්න පුළුවන් අන්තර්ජාලයට මෙවන් නිර්මාණ එක් කෙරුමත්, මෙවන් දේ තිබෙන බව ජනයා දැනුවත් කිරීමත් ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක්.

තමීර said...

@Supun Budhajeewa ඔව්, ඔය කාලෙන් පස්සෙ මේක යනව දැකලම නෑ. අඩු ගාණෙ ඕව අන්තර්ජාලෙ තියෙනවයි කියලවත් අපි දැනුවත් කරමු. ඒක තමයි අපේ යුතුකම

rclakmal said...

great song machan !!!! Bring back our old memories in early 90s !!!!thanks bro !!!!!!

තමීර said...

@rclakmal එල!

නවින්දු said...

මේ සියලු දෙනාගෙම අදහස් කියෙව්වම මට හිතුන දෙයක් තමයි මේ විදියට හිතන පරම්පරාවක් ඉන්න රටේ ලබු කබල් උඩ පාවෙන්නෙ ඇයි කියලා!!!

බොහොමයක් දෙනා හිතන්නෙ නැත්තෙ ඇයි ඔවුන් මොනව පස්සෙන්ද දුවන්නෙ කියලා?

උගන්වනවා ඇරෙන්න දරුවන් එක්ක ටිකක් කතා කරලා ඔවුන්ට හරි මග කියා දෙන්න ගුරුවරු උත්සාහ නොකරන්නෙ ඇයි කියලා?

ඔබ සැමගේ යහපත් රසඥතාවයට මගේ ආචාරය!!!

තමීර said...

@නවින්දු ඔව්, අපේ ගොඩක් අයට තවමත් හොඳ රසඥතාවයක් තියෙනවා. නමුත් මාධ්‍යවලින් බලෙන් බෙදන දේවල් නිසා ඒව යටපත් වී ගෙන යන්නේ. ඒ හින්ද දැන් ගොඩක් අය අර මාධ්‍යවලින් බෙදන අකමැති වුණත් පිළිගන්න තත්වෙට ඇවිල්ලා.

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

මටත් නිතරම හිතෙන දෙයක් තමයි උඹ ලියල තියෙන්නෙ. ඇයි දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වගේ ජාතික රූපවාහිනියෙ ප්‍රචාරය වෙච්ච ටෙලිනාට්‍ය එක්ක බැලුවහම අද තියන මෙගා නාට්‍ය මොනවද?

තමීර said...

@සුසිත රවින්ද සෙනරත්
ඔව්, ඒ කාලෙ තිබුණෙ පවුලේ කාටත් බයක් සැකක් නැතුව එකට වාඩිවෙලා බලන්න පුළුවන් නාට්‍ය. ඔය කියපු දෙකම අපි එක කොටසක්වත් අතාරින්නෙ නැතුව බලපුව. ස්තුතියි මතක් කළාට. දැන් තියෙන්නෙ පවුල් කඩන නාට්‍යනෙ.

Duminda said...

තමීර සොයුර, මා ඔබව ප්‍රථම වරට හමුවූයේ ශ්‍රී ලංකා ඉන්ජිනේරුවරුන්ගේ ආයතනය මගින් වාර්ෂිකව පවත්වන Techno 2008 ප්‍රදර්ශනයේදීය.නමුත් නන්නාඳුනන්නන් ලෙසින්ය.මා ඔබගේ නම දැනගත්තේ ඔබගේ සිංහල බ්ලොග් සටහන තුලිනි. Techno 2008 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු තාක්ෂණ විද්‍යාපීඨයේ ප්‍රදර්ශන කුටියට ඔබ පැමිනියා මාහට මතක්වේ. එහිදී මා අපගේ විශ්වවිද්‍යාලයීය ප්‍රදර්ශන කුටියේ සිටියේ අවසන් වසර වියාපෘති සඳහා ප්‍රදර්ශකයෙකු ලෙසය.එවිට මා විශ්වවිද්‍යාලයට නවක සිසුවෙකු ලෙස පැමින මාස කිහිපයක් ගතවූවා පමනි.මා එහිදී විස්තර කෙරූයේ පරිගණක මගින් පාළනය වන මහන මැෂිමකි.එවිට ඔබ මොර‍ටුව විශ්වවිද්‍යාලයීය ඉලෙක්ට්‍රොනික හා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ දෙවන වසර සිසුවෙකු ලෙස තම කටයුතු කරනා බව මම දැනගතිමි.ඔබද එහිදී මොර‍ටුව විශ්වවිද්‍යාලයේ ප්‍රදර්ශන කුටිය වෙනුවෙන් ප්‍රදර්ශකයෙකු ලෙස කටයුතු කළේය.
ඔබ ඉදිරිපත් කළේ විදුලි මෝටරයක සංඥා සටහන්(දෙදිසාවන්) නිරූපනය කරනා විඳුලි/ඉලෙක්ට්‍රොනික පරිපථයක් හා සෑම අතටම කැරකිය හැකි රොබොවෙකි.පසුව මා මොර‍ටුව විශ්වවිද්‍යාලයීය ඉලෙක්ට්‍රොනික හා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව මගින් 2008 දෙසැම්බර් මස පවත්වන ලද expose 2008 ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයද නැරඹීමටද පැමිණියෙමි.එහිදීද ඔබව මාහට මුණගැසුනු නමුදු ඔබ කාර්යබහුල තත්ත්වයේ පසුවූ නිසා මාහට ඔබ සමග වැඩිදුර කතා කිරීමට නොහැකිවුණි.පසුව ඔබගේ සිංහල බ්ලොග් සටහන දු‍ටු පසු ඔබගේ හැකියාවන් දැක මා පුදුම වූයෙමි.මෙම සටහන ලියනුයේද ඔබගේම නිර්මාණයක් වන singreesi unicode 1.5 සංස්කරණය මගිනි.වෙනත් විශ්වවිද්‍යාලයක සිසුවෙකු වුවද මා හට සුවිශේෂී සහෝදරයෙකි.ඒ අන් කිසිවක් නිසා නොව ඔබ විශේෂ පරිකල්පන හැකියාවකින් යුත් අයෙකු නිසා හා 2009 ජාත්‍යයන්තර ගණිත ඔලිම්පියාඩ් තරගයේදි ඔබ අපගේ රට නියෝජනය කළ කණ්ඩායම මෙහෙයවූ උපනායක ලෙස කටයුතුකළ නිසා හා රටට කීර්තියක් අත්පත් කිරීමට කටයුතු කල අයෙකු නිසාය. සොයුර ඔබට සදා ජය...!. නැවත අප ටෙච්නො 2009 ප්‍රදර්ශනයේදීද හමුවීමට උත්සාහ දරමු....!

Duminda said...

සහෝදරයා අතීතය මතක් කළ ඔබට තුති

තමීර said...

@Duminda
නැවත මේ විදියට හමුවීම ලොකු සතුටක්. ඔව් මෙවර ප්‍රදර්ශනයෙදි අනිවා හම්බ වෙමු. ප්‍රතිචාරයට ස්තුතියි!

dim said...

ටිපි ... ඇත්ත කතාව ...
නියමයි.

සීසර් said...

ඕකනම් බොක්කටම වැදිච්ච සිංදුවක්...

chanaka nuwn said...

like

අදහස් ලියලම යන්න