Thursday, September 1, 2011

¿ඔයා ගෙදර යනවා?



ස්පාඤ්ඤ කියන්නෙ ලෝකෙ තියෙන ලස්සනම භාෂාවක්. ස්පාඤ්ඤ භාෂාවෙ පාවිච්චි වෙනව අපවර්තිත ප්‍රශ්නාර්ථ ලකුණු සහ ප්‍රාර්ථනා ලකුණු. මේකට හේතුව සාමාන්‍ය ස්පාඤ්ඤ වාක්‍යයක් දුටු ගමන් ඒක ප්‍රශ්නයක් ද නැද්ද කියල කියන්න බැරි කම.

උදාහරණයක් විදියට,

 Hablas espanol = ඔබ ස්පාඤ්ඤ කතා කරනවා
¿Hablas espanol? = ඔබ ස්පාඤ්ඤ කතා කරනවද?

 වාක්‍යයෙ මුල තියෙන අපවර්තිත (inverted) ප්‍රශ්නාර්ථ ලකුණින් මේ ඊළඟට තියෙන වාක්‍යය ප්‍රශ්නයක් බව කියවන්නාට දැනුම් දෙනව. අපවර්තිත ප්‍රාර්ථනා ලකුණු යොදන්නෙත් මේ සමාන හේතුවක් නිසා.
¡buenos dias! = සුභ උදෑසනක්!

 ගොඩක් ඉස්සර ස්පාඤ්ඤ භාෂාවෙ මේ අපවර්තිත ලකුණු තිබිල නැහැ. 1754 දි තමයි මුලින්ම ලිවීමෙදි මේ ලකුණු යොදාගත යුතුයි කියල සම්මත වෙලා තියෙන්නෙ. දැන් නම් හැම තැනදිම අපවර්තිත ප්‍රශ්නාර්ථ සහ ප්‍රාර්ථනා ලකුණු පාවිච්චි වෙනව.

සිංහල භාෂාවෙ මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රශ්නාර්ථය ගන්න 'ද' යන්නක් යෙදෙන නිසා. උදා: කනව ද? බොනව ද?

හැබැයි සමහර පැති වල කස්ටිය කතා කරද්දි මේ 'ද' යන්න පාවිච්චි කරන්නෙ නැහැ. ඔයා ගෙදර යනවා? ඔයා බත් කෑවා? වගේ කතා කරන අය අපි අතරෙ ඉන්නව. කවුරුත් මේ විදියට කතා කරන්න ගියොත් තව ටික දවසකින් සිංහලවලටත් අපවර්තිත ප්‍රශ්නාර්ථ ලකුණු එකතු කරන්න වේවි.

¿ඔයා මේ බ්ලොග් එක කියෙව්වා?
¿දැන් එහෙනම් කොමෙන්ට් එකකුත් දැම්මා?

[මෙය හුදෙක් නිවාඩු කැඩීමටම ලියූ ලිපියක් නොවන බව කරුණාවෙන් සළකන්න]

Friday, March 11, 2011

ගූගල් ක්‍රෝම් සඳහා සිංග්‍රීසි

සිංග්‍රීසි කියන්නෙ අළුත් ගූගල් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එකක්. කලින් තිබුණු සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකයෙන් වගේම මේකෙනුත් කරන්නෙ සිංග්‍රීසියෙන් අපි ටයිප් කරන වචන සිංහල යුනිකෝඩ්වලට හරවන එක. අළුත් එක්ස්ටෙන්ෂන් එකට ලිනක්ස්, වින්ඩෝස්, මැක් ඕන මෙහෙයුම් පද්ධතියක ක්‍රෝම් එක්ක වැඩකරන්න පුළුවන්. මේ තියෙන්නෙ ස්ක්‍රීන්ෂොට් එකක්:

singreesi


ක්‍රෝම් API එකෙන් clipboard එක පාවිච්චි කරන්න දෙන්නෙ නැති නිසා සිංහල අකුරු ටික කොපි කරගන්න Select ඔබල Ctrl+C වගේ විධානයකින් කොපි  කරගන්න ඕන. අනිත් එක තමයි ටු, රෑ වගේ අකුරු කීපයක් ටයිප් කරන කොට විකාර සංකේත වගයක් එනවා. තාම බග් එක මොකක්ද කියල හොයාගන්න බැරිවුණා. පුළුවන් තරම් ඉක්මනින් නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා.

තාම මේක පටන්ගත්ත විතරයි. අළුතෙන් එකතු කරන්න පුළුවන් දෙයක් මතක් වුණොත් කියන්න අමතක කරන්න එපා.

මෙතනින් බාගන්න. 

Wednesday, January 26, 2011

තමීර සමග පිළිසඳරක්


තමීර සේනානායක නමැති කඩවසම් බ්ලොග්කරුවා ගැන ඔබට අමුතුවෙන් විස්තර කළයුතු නැහැ. අද අපේ පිළිසඳර තමීර එක්ක.

තමීර මොකද මේ දවස්වල, බ්ලොග්කරණය අමතක වෙලාද?
අපෝ නැහැ, ළඟදි මේ පොඩි එක්සෑම් එකක් එනව. ඒකට පාඩම් කරන නිසා පොඩ්ඩකට බ්ලොග් ලිවිල්ලෙන් ඈත් වුණා. ඉවරවුණ ගමන් ආයි එනව.

හැබැයි ඉංග්‍රීසි බ්ලොග් එකේ නම් නිතරම ලියනව නේද?
ඔව්, ඒක ඉතින් මයික්‍රොබ්ලොග් එකනෙ. පොඩ්ඩ පොඩ්ඩ ඉඳල හිටල ලියනව. ට්විටර් එකේ නම් නිතරම ඉන්නව.

දැන් සිංහල බ්ලොග් වැහි වැහැල. මේ ගැන තමීර දරන අදහස මොකක්ද?
නවකයන් බ්ලොග්කරණයට යොමුවන එක ගැන ඉතින් සතුටු වෙන්න ඕන. වඩා වැදගත් වෙන්නෙ වල්පල්වලට වඩා වැදගත් කරුණු ලියන එක. මට පේන විදියට ගොඩක් අය කරන්නෙ නිකං තමන් ගැන බ්ලොග් එකේ ලියන එක. තමන් ගැන ලියල කාටද වැඩක් වෙන්නෙ?

ඒක ඇත්ත. සින්ඩිත් දැන් වැහි වැහැල නේද?
ඔව්, හතු පිපෙන්න වගේ සින්ඩි එන්න පටන් ගත්තු කාලයක් තිබුණා. දැන් නම් කස්ටියට සින්ඩි හදන්න එච්චර උනන්දුවක් නෑ වගේ.

තමීර වගේ අත්දැකීම් බහුල බ්ලොග්කරුවන් බ්ලොග්කරණයෙන් ඈත්වීමේ ප්‍රවණතාවයක් තියෙනව කිව්වොත්?
මම අත්දැකීම් බහුල කෙනෙක් නෙවෙයි. ඒත් ඔබ කියන කතාව ඇත්ත. ගොඩක් පරණ බ්ලොග්කරුවන්ගෙ ලිවිල්ල අඩාල වෙලා කියල දකින්න තියෙනව. ගොඩක් දුරට විභාග වගේ දේවල් තමයි මං හිතන්නෙ මේකට හේතුව. හැබැයි ලියන අය ඉතින් දිගටම ලියනව.

හොඳයි, අවසාන වශයෙන් අහන්නෙ, දැන් තමීරට පෙම්වතියක් එහෙම නැද්ද?
ඒවට ඉතින් කල් තියෙනවනෙ, නැද්ද. ;)

Friday, December 31, 2010

අළුත් අවුරුද්දෙ වැදගත් වැඩකට අතගහන්න කැමතිද?



Wikinews කියන්නෙ විකිපීඩියා වගේම ඕන කෙනෙකුට දායක වෙන්න පුළුවන් පුවත් අඩවියක්. දැනට භාෂා ගණනාවකින් මේ අඩවිය තිබුණත් සිංහල භාෂාවෙන් wikinews එකක් නැහැ. මේ නිසා අපේ බුධාජීව මලයගෙ අදහසකට අනුව සිංහලෙන් 'විකිපුවත්' නමින් wikinews සිංහල සංස්කරණයක් එළි දක්වන්නයි ලෑස්තිය. මේ ලිපිනයෙන් දැනට හදාගෙන යන විකිපුවත් අඩවියට පිවිසෙන්න පුළුවන්.

නමුත් si.wikinews.org නමින් අඩවිය පටන්ගන්න අනුමැතිය ලැබෙන්න කලින් විකිපුවත් පරීක්ෂණ කීපයක් සමත් වෙන්න ඕන. මේ අතරින් මූලික පරීක්ෂණය දැනටමත් විකිපුවත් සමත් වෙලා තියෙන්නෙ. ඒත් දැනට තියෙන ලොකුම බාධකය තමයි පුවත් සපයන සංස්කාරකවරුන්ගෙ අඩුපාඩුව. මේ සඳහා නම් ඉදිරිපත් කරල තියෙන්නෙ දැනට 6 දෙනෙක් විතරයි.

මේ වැඩේට කැමති නම් කරන්න තියෙන්නෙ පොඩි දෙයක්.

  1. විකිපීඩියාවලට ලොග් වෙන්න. පරිශීලක නමක් නැත්නම් sign up වෙන්න.
  2. http://meta.wikimedia.org/wiki/Requests_for_new_languages/Wikinews_Sinhala ලිපිනයට යන්න. 
  3. පිටුවෙ දකුණු අත පැත්තෙ උඩ තියෙන Edit සබැඳිය ක්ලික් කරන්න. 
  4. එතකොට එන පිටුවෙ උඩ හරියෙම මෙන්න මේ වගේ පේළියක් තියෙනව:
  5. |community = [[User:Budhajeewa|Budhajeewa]] N P, [[User:Thameera123|Thameera123]] N P, [[User:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] N,[[User:Keheliya|Keheliya]] N, [[User:බිඟුවා|බිඟුවා]] N , [[User:Shane44|Shane44]] N
  6. මේ තියෙන්නෙ දැනට නම් දීපු අයගෙ පරිශීලක නම්. මේ පේළියෙ අගට ඒ විදියට ඔබේ විකිපීඩියා/විකිනිව්ස් පරිශීලක නම එකතු කරන්න. 
  7. පිටුවෙ පහළින් තියෙන Save page බොත්තම ක්ලික් කරන්න. 

මේ ටික කරන්න අමාරු වගේ නම් පහළින් කොමෙන්ටුවක් විදියට ඔබේ විකිපීඩියා පරිශීලක නම දෙන්න. එතකොට අපිට පුළුවන් ගිහින් නම එකතු කරන්න.

එහෙනම් කාටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන, උපරිම ඩවුන්ලෝඩ් ස්පීඩ් ලැබෙන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

Friday, December 17, 2010

බ්ලොග්කරුවන්ගේ හමුව සහ තමීරගේ නොපැමිණීම



2010 සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව දෙසැම්බර් 19 වැනිදා කොළඹ නවම් මාවතේ DHPL ගොඩනැගිල්ලේදී පැවැත්වේ.

මේ හමුවට යෑම සඳහාම තමීර තම බ්ලොග් එක නැවත ලිවීම ආරම්භ කළ බව පසුගිය බ්ලොග් ලිපියක පළවුවත් එම හමුවට ඇත්තෙන්ම ඔහු සහභාගී නොවන බව නිල නොවන ආරංචි මාර්ගයෙන් දැනගැනීමට හැකි විය. මේ ගැන තමීරගෙන් කළ හේතු විමසීමකදී දැන ගැනීමට ලැබුණේ මේ තොරතුර සත්‍යයක් බවත් එදින ඔහු සහභාගී නොවන්නේ පෞද්ගලික හේතුවක් මත බවත් ය.

සිංහල බ්ලොග් ලොවම කම්පා කළ මේ තීරණය ගැන අපි රටේ නමක් දිනා ඇති බ්ලොග්කරුවන් කිහිපදෙනෙකුගෙන් කළ අදහස් විමසීමකදී ලැබුණේ මෙවැනි පිළිතුරු ය.

තාක්ෂණික බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: මම නම් එදාට එන්න හිටියෙම තමීර හම්බවෙන්නමයි, දැන් නං ඉතින් ඇවිල්ල තේරුමක් නෑ. කොහොමත් ඔය හමුවෙදි එක එක්කෙනාගෙ වල්පල් කතා ටිකක් අහං ඉඳල එන එක විතරනෙ කෙරෙන්නෙ.

සින්ඩියක් පවත්වාගෙන යන බ්ලොග්කරුවෙක්: මාත් ඕකට එන්නැතුව ඉන්න තමයි කල්පනා කළේ. බ්ලොග්කරුවන්ගෙ හමුවක් කියල අලි බොරුවක් ඔතන කරන්නෙ. තමීරටත් මේ ගැන තේරිලා තිබීම ගැන සතුටුවෙන්න ඕන.

නිතර කවි ලියන බ්ලොග්කරුවෙක්: මට නම් මේක එක සැරේට විශ්වාස කරන්නත් බැරි වුණා. තමීර එන්නෙ නෑ කියන්නෙ තව කී දෙනෙක් එන්නැතුව ඉඳීද දන්නෙ නෑ. මාත් හිතුණොත් යන්නෙ නෑ ඔය කෙහෙල්මලට.

තවත් තාක්ෂණික බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: ඕක එච්චර කලබල වෙන්න ඕන දෙයක් කියල මම නම් හිතන්නෙ නෑ. තමීරය කොහොමත් අමු පිස්සනෙ. අපි නම් හමුවට අනිවාර්යෙන් එනව.

විවිධ විකාර අදහස් ලියන බ්ලොග්කරුවෙක්: මං මේ කල්පනා කරේ අවුරුද්දකට සැරයක් තියෙන හමුවකට නොඑන්න තරම් තමීරට තියෙන පෞද්ගලික ප්‍රශ්නෙ මොකක්ද කියල. මෑන් යන කැම්පස් එකත් මේ දවස්වල වහලනෙ තියෙන්නෙ. බොරු කතාවක්ද දන්නෙත් නෑ.

බොහොම හැඟීම්බර බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: තමීර හොඳ වැදගත් දේම ලියන බ්ලොග්කරුවෙක්. මේ වගේ අයත් මේ හමුවට එන්නෙ නෑ කියන්නෙ හමුවෙ පරමාර්ථ ඉෂ්ඨ වෙන්නෙ නෑ කියන එකයි. හැබැයි එක්කෙනෙක් නොඑන නිසා හමුව අසාර්ථක වෙයි කියල කියන්න අමාරුයි. අපි මේක යථාර්ථවාදීව හිතල බලන්න ඕන ප්‍රශ්නයක්.

කවිත් ලියන, බ්ලොග් එකේ තීම් එකවත් හරියට හදාගන්න බැරිවුණු බ්ලොග්කාරියක්: අයියෝ තමීර එන්නැද්ද? මං හිටියෙ එදාට හොඳවයින් දෙකක් කතා කරන්න. මැරතන් එකේදිත් මට එකේක පද හැදුව. අපරාදෙ.

ලිනක්ස් සහ ෆොස් ගැන පමණක් කතා කරන බ්ලොග්කරුවෙක්: මම නම් කොහොමත් ඔය හමුවට විරුද්ධයි. මයික්‍රොසොෆ්ට් එකෙන්නෙ අනුග්‍රහය දෙන්නෙ. අපි එයි ඕවට. තමීරත් නොඑන එකමයි හොඳ.

තාක්ෂණය ගැන ඇති දැනුමක් නැතත් තාක්ෂණික බ්ලොග් ලියන බ්ලොග්කරුවෙක්: කවුද තමීර කියන්නෙ?

මේ කුමන අදහස් මතු වුවත් මෙවර සිංහල බ්ලොග්කරුවන්ගේ හමුව තමීර නැතැයි කියා ගැටලුවක් නොවී සාර්ථකව පැවැත්වෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Sunday, December 5, 2010

රෙදි හෝදන හැටි

බෝල කූඩුවේ තව ඇඳුමක් එල්ලුවොත් එය බරට කඩාගෙන වැටෙණු ඇත. එහි එතරම්ම ඇඳුම් පිරිලාය. අද හෝදනවා, හෙට හෝදනවා යි කියා හිතාගෙන හිටියත් කෙරෙන්නේ නම් නැත.

ඇඳුම් හෝදන එක තරම් කම්මැළි වැඩක් ලෝකයේ නැත. ගෙදර හිටියා නම් අම්මාට කියා හෝදා ගන්නට තිබුණි. අම්මා නැති කලට කණයා පණ්ඩිතයාද මොකක්ද කියා කියමනකුත් ඇත. අම්මා නැති කඩුව කොස් කොටන්නද කියා පරණ අය ඇහුවේ ද කට කහනවාට නොවේ.

මීට මාස කිහිපයකට පෙර සඟරාවක තිබී මට අපූරු ලිපියක් කියවීමට හමුවිය. එහි කතුවරයා යෝජනා කර තිබුණේ යම් කිසි දෙයක් ගැන සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉගෙනගැනීම එම වැඩය පහසුකරගැනීමට හේතුවන බවයි.

උදාහරණයක් ලෙස ඇඳුම් සේදීම ගනිමු. ඇඳුම් හේදීමේ විවිධ ක්‍රම, වඩාත් කාර්යක්ෂමව ඇඳුම් හේදීමට ලෝකයේ විවිධ අය යොදාගන්නා  උපායයන්, ඇඳුම් හෝදන අතරදී තනිවම කළ හැකි ක්‍රීඩා, වතුරට රෙදි හෝදන කුඩු දමන නිවැරැදි අනුපාත, මැසිමෙන් හෝදනවාට වඩා අතින් රෙදි සේදීමේ වාසි, මෙවැනි අනේකවත් දේවල් ගැන අපට අන්තර්ජාලයෙන් සොයා බැලිය හැකිය. මේවා දැන ගැනීමෙන් රෙදි සේදීම දෙස අප බලන දෘෂ්ටිකෝණය වෙනස්වෙයි. තවදුරටත් එය විඩාව ගෙනදෙන කම්මැළි ක්‍රියාවක් ලෙස අපට නොපෙනෙයි.

මෙය ඇඳුම් හේදිම පමණක් නොව ගෙදර අතුගෑම, ඇඳූම් ඉස්තිරික්ක කිරීම, වාහනය සේදීම වැනි ඕනෑම අප අකමැති වැඩකට යොදාගත හැකිය. බෝල කූඩුවට නැවතත් බරින් නැවීමට සිදු නොවනු ඇත. රෙදි සෝදාගත් කල ගොවියා රජ කමටත් සුදුසු බව ඔබ අසා ඇතුවාට සැක නැත.

Friday, December 3, 2010

ගෝල් දේශයේ කතාවක්



ගෝල් දේශයේ තමීර නම් කොල්ලෙක් වාසය කළේය. මේ කොල්ලා හැඩකාරය. මොළකාරය. කටකාරය. හැබැයි ටිකක් ආඩම්බරකාරය. ඔහුට බ්ලොග් එකක් ද තිබුණේය. කාලයක් මේ කොල්ලා යස අගට මේ බ්ලොග් එක ලිය ලිය හිටියේය.

මෙහෙම යන විට ගෝල් දේශයට විශාල ඉඩෝරයක් ආවේය. මේ ඉඩෝරය තමීරට බොහොම දරුණුවට බලපෑවේය. බ්ලොග් ලිවීම ද එහෙම්ම නැවතී ගියේය.

මෙහෙම කාලයක් ගතවුණේය. දවසක් පාර අයිනේ කජ්ජකට කුරුමාණම් අල්ලමින් හිටි තමීරට බ්ලොග්කරුවන්ගේ සංසදයේ හමුවීමක් ගැන ආරංචියක් කන වැකුණේය. එක පාරටම තමීරට 'හුටා'යි කියවුණේය. ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්නට ඔහුට ඕනෑ වුණේය.
මෙහෙම හිතා කඩදාසියක පොඩි බ්ලොග් පෝස්ට් එකක් ද ලියා සංසදයෙන් විසික් වී තිබුණු බ්ලොගය නැවත දාන්ටැයි ඉල්ලීමක් ද කර හමුවීමට යන්නට ලක ලැහැස්ති වුණේය.

Saturday, May 22, 2010

උබුන්ටු ස්ථාපනය කළ පසු...

උබුන්ටු (හෝ වෙනත් ඕනෑම මෙහෙයුම් පද්ධතියක්) පරිගණකයේ අළුතෙන් ස්ථාපනය කළ පසු එය අපට සුවපහසුවන ආකාරයට 'tweak' කරගත යුතුය. එනම් අපේ එදිනෙදා වැඩට පහසුවන ලෙස අළුත් මෘදුකාංග එකතු කිරීම, පද්ධති සැකසුම් වෙනස් කිරීම ආදිය කළ යුතුය. උබුන්ටු සමග පෙරනිමියෙන් විවිධ මෘදුකාංග ගණනාවක් පැමිණියත් අප බොහෝ දෙනාගේ අවශ්‍යතාවලට ඒ ප්‍රමාණය මදිවේ.



වින්ඩෝස්වල සිට උබුන්ටුවලට පැමිණෙන බොහෝ නවකයන්ට මෙන්ම  උබුන්ටු එක් සංස්කරණයක සිට නව සංස්කරණයකට යාවත්කාල කිරීමේදී ද මෙම ගැටලුව ඇතිවෙයි.

උබුන්ටු නව ස්ථාපනයක් කළ පසු මම සාමාන්‍යයෙන් එයට එකතු කරන මෘදුකාංග කිහිපයක් කාගේත් ප්‍රයෝජනය පිණිස පහත දක්වමි. ඔබේ අවශ්‍යතාවයන් මීට වඩා මඳක් වෙනස් විය හැකිය. අතහැරුණු යම් යම් දේ ද තිබෙන්නට පුළුවන. පසුව මතක් වුවහොත් මෙම ලිපියම අළුත් කිරීමට බලාපොරොත්තු වෙමි.

වැදගත් : සමහරක් මෘදුකාංග "රෙපොසිටරියෙන් බාගත හැකිය" යි සඳහන් කර ඇත. මෙහි තේරුම Ubuntu Software Center සහ ටර්මිනලයේ sudo apt-get install භාවිචයෙන් ස්ථාපනය කළ හැකි බවයි. වැඩි දුර විස්තර සඳහා මේ ලිපිය බලන්න.

අත්‍යවශ්‍ය මෘදුකාංග

sinhala
1. සිංහල යුනිකෝඩ් ස්ථාපනය
ගොඩ දෙනෙකුගේ මුල්ම පියවර සිංහල ස්ථාපනයයි. කරන විදිය ගැන පැහැදිලි විස්තරයක් මෙතැන තිබේ. දැනට ඇති ලස්සනම සිංහල ෆොන්ටය වන මලිති වෙබ් අවශ්‍ය නම් මෙතනින් බාගන්න.

2. Restricted extras
මෙය ස්ථාපනයෙන් MP3, flash වැනි වාණිජමය දිගු (extensions) සහිත ගොනු විවෘත කළ හැකිය. වෙනත් ආකාරයකට කියනවා නම් වින්ඩෝස්වලදී media codecs ස්ථාපනයට සමානය. මෙය ubuntu-restricted-extras නමින් රෙපොසිටරියෙන් බාගත හැකිය.

vlc player
3. VLC Player
උබුන්ටු සමග පෙරනිමියෙන් Totem Player පැමිණියත් සාමාන්‍ය පරිශීලනයට පවා එහි ඇති විශේෂාංග ප්‍රමාණය මදිය. මෙයද රෙපොසිටරියෙන් බාගත හැකිය.

4. Adobe Air
නිතරම භාවිතාකිරීමට අවශ්‍ය වන Adobe Air apps ධාවනයට Air Runtime එක මෙතනින් බාගත හැකිය. මෙහිදී අපට ලැබෙන්නේ bin දිගුව සහිත ගොනුවකි. මෙය ධාවනය කිරීමට ටර්මිනලයෙන් අදාළ ඩිරෙක්ටරියට ගොස්,
sudo chmod +x AdobeAIRInstaller.bin ලබාදී
./AdobeAIRInstaller.bin ලෙස ඇතුළත් කර Enter කරන්න.

5. Rar සහ Unrar
Zip, tar.gz වැනි දත්ත හකුළන දිගු උබුන්ටු තුළ පෙරනිමියෙන් අඩංගුවුණත් අපට නිතරම අවශ්‍ය වෙන Rar ගොනු සමග වැඩකිරීමට Rar සහ Unrar ස්ථාපනය කරන්න. රෙපොසිටරියෙන් ලබාගත හැකියි.

6. Wine
අත්‍යවශ්‍ය නොවේ යැයි තර්ක කළ හැකි වුණත් වින්ඩෝස් මෘදුකාංග ධාවනය කිරීමට Wine අතුරුමුහුණත සෑම උබුන්ටු පාවිච්චි කරන්නෙකුම පාහේ භාවිතාකරනු දැකිය හැකිය. රෙපොසිටරියෙන් ස්ථාපනය කළ හැකිය.

අවශ්‍ය නම් එකතු කළ හැකි මෘදුකාංග

google chrome
1. ගූගල් ක්‍රෝම්
උබුන්ටු සමග පෙරනිමියෙන් ෆයර්ෆොක්ස් පැමිණෙයි. නමුත් ඔබ වඩාත් ප්‍රියකරන්නේ ක්‍රෝම් නම් මෙතනින් ස්ථාපනය කළ හැකිය.

2. Dropbox
දත්ත උපස්ථ කිරීමට Dropbox පාවිච්චි කරන්නේ නම් අදාළ client එක ස්ථාපනය කළයුතුය. Dropbox අඩවියෙන් මෙයට අදාළ deb ගොනුව බාගෙන ඩබල් ක්ලික් කිරීමෙන් ස්ථාපනය කරගන්න.

gimp
3. GIMP
උබුන්ටු 10.04 සිට ඡායාරූප සමග වැඩකිරීමට F-Spot Photo manager පමණක් පැමිණෙයි. නමුත් මෙහි ඇති විශේෂාංග ප්‍රමාණය GIMPට වඩා බෙහෙවින් අඩුය. GIMP රෙපොසිටරියෙන් ස්ථාපනය කළ හැකිය.

4. Ubuntu Tweak
උබුන්ටුවල ඇති බොහෝ සැඟවුණු පද්ධති සැකසුම් පහසුවෙන් වෙනස් කිරීමට ඉඩ සලසන මෘදුකාංගයකි. මෙතනින් බාගන්න.

මීට අමතරව එකතු කරන්න පුළුවන් පොඩි පොඩි ගැජමැටික් කෑලි ගොඩක් තියෙනව. හැම එකම දාන්න එක පෝස්ට් එකක් මදි. ඉඩ ලැබෙන විදියට බලමු.

EAVB_QHBQSJGLYG

Tuesday, May 18, 2010

අවුරුද්දක බ්ලොග් කෙරුවාව



මේ මගේ 50 වැනි බ්ලොග් සටහනයි. සිංහලෙන් බ්ලොග් ලිවීම ආරම්භ කළේ මීට අවුරුද්දකුත් දින කිහිපයකට කලිනි. හරියටම කියනවා නම් 2009 මැයි 14 වැනිදායි.

සිංහල බ්ලොග්කරණය සහ බ්ලොග් සංසදය ගැන මම දැනගත්තේ පහන්ගේ දින සටහන් සහ ශාකුන්තලගේ සටහන්පොත කියවීමෙනි. මුලින්ම මම කියවූයේ මේ දෙකෙන් කුමන එකදැයි මට මතක නැත. ඒ ගැන පහන් සහ ශාකුන්තල දබර කර නොගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

මුල සිටම සටහන් කළේ විජේසේකර කීබෝඩයෙනි. ඉංග්‍රීසියෙන් සිංහලට මාරුවීමට වින්ඩෝස්වලදී Left Alt+Shift එබිය යුතු බවවත් නොදැන සිටි මා ගුරුහරුකම් ලබා ගත්තේ ඉසුරු උදාන ගෙනි.

පළමුවැනි බ්ලොග් පෝස්ට් එක ලියන විට කොමෙන්ට් කිරීම යනු කුමක්දැයි කියාවත් නොදැන සිටියෙමි. දවසක් දීප්ස් නැමැත්තියගෙන් මූණුපොතේ පණිවුඩයක් මට ලැබුණි. ඇය කියා තිබුණේ මගේ සටහන් අනගි බවත්, බ්ලොග් එකේ කොමෙන්ට් කිරීම ගැටලු සහගත බවත්ය. මුලින්ම මගේ බ්ලොග් සටහනක් අගය කළේ ඇයයි. ඒ පණිවුඩයෙන් මට ලොකු ආත්මාභිමානයක් ඇතිවිය. තීම් එක වෙනස් කිරීමෙන් කොමෙන්ට් කිරීමේ දෝෂය මග හරවාගත්තෙමි.

මුලින්ම මගේ සටහනකට කොමෙන්ටුවක් ලබාදුන්නේ ඉන්දරේ නොහොත් ඉන්ද්‍රනාමයි. අද වගේ කොමෙන්ටු දමන්නට වැඩි දෙනෙක් නොසිටි ඒ දවස්වල ඒ කොමෙන්ටුව වැටුණුවිට මට ඇතිවුණු සතුට ඉන්දරේ  දන්නවා නම්!

මේ හැර තවත් බොහෝ දෙනෙක් විවිධ ආකාරයෙන් මේ ආ ගමනේ උපකාර කළෝය. දිරි දුන්නෝය. මේ සියලුදෙනාට හදවතින්ම මාගේ ප්‍රණාමය පුදකරමි. ඔබ නැති වූයේ නම් මෙවැනි ලිපියක් තබා තමීරගේ තීරයක්වත් අද නොතිබීමට ඉඩ තිබුණි.

මගේ බ්ලොග් සටහන් පනහෙන් මුල් ඒවායේ තරමක බොළඳ ගතියක් ඇතැයි මට සිතෙයි. බොහෝ කලක් යන තෙක් ඒවා තාක්ෂණික දේවලටම සීමාවිය. පසුව ගණිත ඔලිම්පියාඩය ගැන ලිපි කිහිපයක්ද ලිව්වෙමි. ඉන්පසු විවිධාකාරයේ ප්‍රවර්ග යටතේ සටහන් කළෙමි. විරහව, මගතොට සිදුවීම්, කවි මේ අතර විය.

බ්ලොග්කරණය නිසා මගේ ජීවිතය වෙනස් විය. ඒ වෙනස්වීම සිදුවූයේ හොඳ දිශාවකටය. බොහෝ මිතුරු මිතුරියන් හැඳින ගත්තෙමි. බ්ලොග්කරුවන්ගේ හමුවීමට ද සහභාගී වුණෙමි. බ්ලොග් මැරතන් එකක් ද දිව්වෙමි. තවත් කිහිපදෙනෙකුටම බ්ලොග් කලාවට අත්පොත් තබන්නට උදව්කළෙමි. සිංග්‍රීසි යෙදුම මගින් විජේසේකර කීබෝඩය නුහුරු අයට සිංහල ලිවීමට උදව්වක් ලබාදුන්නෙමි. ජීවිතය, සමාජය ගැන හොඳ අවබෝධයක් මෙන්ම තාක්ෂණික විෂයයන් ගැන ලොකු දැනුමක් ද ලබාගත්තෙමි.

මගේ එක් ලිපියකට ප්‍රතිචාරයක් එක් කරන තිස්ස දොඩන්ගොඩ අයියා මෙසේ කියයි:

තමීර හාර්ඩ්වෙයා ස්ටෝර්ස්
සියලුම වර්ගයේ ඇණ විකිණීමට ඇත.

ඒ ප්‍රතිචාරය නිවැරැදිය.

හොඳ හොඳ ඇණ තවම නිමැවුණේ නැත. තමීර හාර්ඩ්වෙයා ස්ටෝර්ස් වෙතින් ඔබ නොසිතූ විරූ අන්දමේ ඇණ වර්ග බලාපොරොත්තු වන්න.

Saturday, May 15, 2010

බ්ලොග් නොකියවීම

බ්ලොග් කියවීමේ පුරුද්ද කාලයක සිට මගෙන් ගිලිහී ගොස් ඇත. කාර්යබහුල බව මෙයට දිය හැකි හොඳම නිදහසට කරුණක් බව දනිමි. නමුත් එවැන්නක් දීමෙන් මුලාවන්නේ මම ම බව ද දනිමි.

මම බ්ලොග් කියවීම අඩු කළේ ඇයි? සතියේ දිනවල නම් දවල් කාලයේ ඔපීසිය තුළ කියවිය නොහැකිය. ගෙදර එනවිට රෑ 7.30 පමණ වෙයි. ඉන්පසු chess.com වලට ලොග් වන මම චෙස් ඇදීමත්, ටුවිට් කිරීමත් කරමි. යන්තම් නිදිමත හැදීගෙන එන විට කතා පොතකුත් ගෙන ඇඳට යමි. සති අන්තයේ වුවද වැඩි වෙනසක් නැත. බ්ලොග් එකක් කියවිය යුතු යැයි හැඟීමක් සිතට නො එයි.

හදිසියෙන් දවසක සින්ඩිකේටරය පැත්තට ද යමි. බ්ලොග් පෝස්ට් එකක් දෙකක් විවෘත කරමි. සමහර ඒවා දිගය. කියවන්නට කම්මැළිය. සමහර ඒවායේ ඇත්තේ මම අකමැති මාතෘකාවකි. ඒවා නොකියවමි. සමහර ඒවා මා වැනි 'උගත්' අයෙකුට නොසුදුසු යැයි සිතෙයි. ඒවා කියවීම මට 'නොතරම්' ය. සමහර ඒවා රූපයක්වත් නැති අකුරු ගොඩකි. (මගේ මේ සටහනත් එසේමය.) නොකියවමි. කලාතුරකින් පමණක් ලිපියක් කියවා කොමෙන්ටුවකුත් දමමි.

මගේ ක්‍රියාකලාපය ගැන මම කල්පනා කරමි.

මම වැරදිය. වැඩි දෙනෙකුට සාපේක්ෂව මම නූගත්ය. නිරපේක්ෂව ද මම නූගත්ය. කියවීමට 'නොතරම්' දෑ නැත. අපි කියවන හැම දෙයින්ම අපි ඉගෙන ගන්නෙමු. සෑම බ්ලොග් සටහනකම ඇත්තේ අළුත් අදහසකි. අප දන්නා දෙයක් වුවද තවත් අයකු වෙනස් ආරකින් දකින විදියකි. කියවන හැම වචනයකින්ම අපි අළුත් දෙයක් ඉගෙන ගන්නෙමු.

A bad workman quarrels with his tools යැයි කියමනක් ඇත. මගේ මේ සටහනම එම වැකියෙන් කියවෙන බව මම සිතමි. ඔබට එය එසේ නොවිය හැකිය. ඔබ සිතන්නේ මට වඩා අමුතු ආකාරයකටය. ලෝකයේ මිනිස්සු විවිධාකාර වෙයි.

අද සිට මම හැකි තරම් බ්ලොග් සටහන් කියවමි.

Thursday, May 13, 2010

බසයේ තවත් එක් දවසක්


මම මරදානෙන් 176 බසයට නගිමි. ගමනාන්තය කොස්වත්ත හන්දියයි. වාඩිවෙන්නට අසුනක් ලැබුණොත් එය ලොකු දෙයකි. එවිට බෑගයේ තිබෙන පොත ගෙන කියවීමට පටන් ගත හැකිය. නමුත් නගින විටම අසුනක් ලැබෙන්නේ කලාතුරකිනි.

බස් රථය ආනන්ද විද්‍යාලය අසල නවත්වයි. මා සිටගෙන සිටින තැන අසුනේ කාන්තාව බැසීමට සැරසෙයි. මා ළඟම සිටගෙන සිටින්නේ කාන්තාවකි. ඇය කෙසේ හෝ හිස්වන අසුනේ වාඩිවීමට උත්සාහ කරයි. සමහරවිට ඇයට වාඩිවීමට මට වඩා අවශ්‍යතාවයක් තිබිය හැකිය. ඇය මවක් විය යුතුය. උදෑසන ගෙදර සියලු වැඩකටයුතු නිමකර දැන් වැඩට යාමට එන්නියක් විය යුතුය. උදෙන්ම නැගිට ආහාර පිළියෙල කර දරුවන් පාසැලට ලෙහෙස්ති කර මරදානට දුම්රියේ හිටගෙන පැමිණ සිටින ඇය සිටින්නේ බොහෝ මහන්සියෙන් විය යුතුය.

මම ඇයට ඉඩ දෙමි. හිට ගෙන ගමන් කිරීම මට ලොකු අපහසුවක් නොවේ. හිට ගෙන යනවිට වීදුරුවෙන් හොඳින් එළිය බැලිය හැකිය. උදේ විවිධ රාජකාරිවලට යන විවිධාකාරයේ මිනිස්සු නිරීක්ෂණය කළ හැකිය. මේ වෙලාව වනවිට පාසැල් පටන් ගෙන ඇතත් පාරේ තැනෙක පාසැල් සිසුවෙක් දකින්නට හැකිය. ඒ පාසල් නොගොස් කට්ටි පැනපු ළමයෙකු දැයි සිතෙයි. මම පාසැල් යන කාලයේ කෙදිනකවත් කට්ටි නොපැනපු බව සිහිවෙයි. ඒ ගැන පොඩි දුකක් ද හිතේ මෝදුවෙයි. සමහරවිට එසේ කට්ටි පැන්නා නම් විශ්වවිද්‍යාලයට නොතේරීමට ඉඩ තිබුණි. ඒ ගැන හිතන විට මුලින් දැණුනු දුක පහව යයි.

මා අසුන දුන් කාන්තාව ඇයට ඉදිරියෙන් වූ අසුනට හිස ගසාගෙන නිදයි. ඇය සිටින්නට ඇත්තේ ලොකු මහන්සියකින් විය යුතුය. අසුන ඇයට දීම ගැන සතුටක් හිතේ මෝදුවෙයි. යමක් ලැබිය යුත්තේ එය වඩාත්ම වුවමනා කරන කෙනාටය.

බසය දැන් බොරැල්ල පසු කරයි. බොරැල්ල බස් නැවතුම්පළ අසල ඇති එතිසලාත් දැන්වීම් පුවරුව දෙස මම හැමදාම බලමි. එහි සිටින තරුණියගේ රුවට මම ඇලුම් කරමි. ඇගේ ඇඳුම ඇයටම ගැළපෙයි. එය ඇයටම මැසූ එකක් විය යුතුය. ඇය ලංකාවේ කෙනෙකුදැයි ද විටෙක සිතෙයි. කෙසේවෙතත් ඇය දැකුම්කළුය. බොහෝ වෙළෙඳ දැන්වීම්වල සිටින තරුණියන්ගේ මෙන් විච්චූරණ ඇති බවක් නොපෙනෙයි.

මේ ගැන හිතමින් යන අතර වාඩිවීමට තිබුණු අවස්ථා කිහිපයක්ම මග හැරුණු බව වැටහෙයි. මෙතැන් සිට මඳක් විමසිල්ලෙන් ගමන් කළ යුතුය. වීදුරුවෙන් එළිය බලනවාක් මෙන්ම මා සිටින බසය ඇතුළත ගැනද විමසිල්ලෙන් පසුවිය යුතුය. කාසල් වීදියෙන් යන බසය ආයුර්වේද හන්දිය අසලට පැමිණෙයි. මා පිටුපස වාඩිවී සිටි අයෙක් බැසීමට නැගී සිටියි. මා ඉන්නා තැනම තවත් මා වැනි කොල්ලෙක් හිටගෙන සිටියි. නමුත් අසුන හිස්වන බව ඔහු දකින්නේ නැත. මම ඉක්මනටම හිස්වූ අසුනට ගොස් වාඩි වෙමි.

වාඩි වුණු විගස  බෑගයෙන් පොත අතට ගමි. එය ස්පාඤ්ඤ බසෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළ නවකතාවකි. දැන් බසයෙන් බසින තුරු පොතේ කියෙවෙන සුන්දර ලෝකයේ ජීවත් විය හැකිය.

Wednesday, May 12, 2010

කෝච්චි තුනක් මිස් වීම හෙවත් මාර දූවරු තිදෙනා


හැමදාම වැඩ ඇරිලා කෝච්චියෙන් ගම්පහට යන්න මම මරදාන් ඉස්ටේසමට එනවා. ඊයෙත් වෙනද වගේ ඉක්මනට ආවෙ හවස හයේ කෝච්චිය අල්ල ගන්න. ඒත් මම දුවගෙන එනකොටම කෝච්චිය ගියා.

එතකොටම ආවා කොටුවට යන කෝච්චියක්. ඒකට නැග්ගේ කොටුවට ගියොත් ඊළඟ කෝච්චියේ වාඩිවෙලා ඒමේ සම්භාවිතාවක් තියෙන නිසා. ඒකෙ නැගල කොටුවට ගිහින් බැස්ස විතරයි ඒ ආපු කෝච්චියට මිනිස්සු හෝ ගාල නැග්ගා. බලන කොට මම කොටුවට ඇවිල්ල තියෙන්නේ ආයෙ අනිත් පැත්තට වේයන්ගොඩට යන කෝච්චියෙ. මදෑ ඒකත් මිස් වුණා. ඒක ස්ලෝ එකක්. ඊළඟට එන ඇක්ස්ප්‍රස් එකේ ගියොත් අරකට කලින් යන්න පුළුවන් නිසා ඇක්ස්ප්‍රස් එක එනකං හිටියා.

ඔන්න ඇක්ස්ප්‍රස් කෝච්චියත් ආවයි කියමුකො. ඒකෙ ඉතින් හිටගෙන තමයි. ඒක අද්දනකං ඉන්න කොට අනිත් පැත්තෙ වේදිකාවෙ තව කෝච්චියක් ගැහුවා මීරිගම කෝච්චියක්. ඒක ස්ලෝ. හොඳටම පරක්කුවෙනවා. ඒත් වාඩිවෙලා යන්න පුළුවන්. ඉතින් මාත් වාඩිවෙලා යෑමේ ආසාවට ඒකට ගොඩවුණා. ඔය විදියට කෝච්චි තුනකම යන්න බැරිවෙලා හතරවෙනි කෝච්චියෙ තමයි ආවෙ.

පස්සෙ ගෙදර ඇවිත් මම මේ කෝච්චි සිද්ධිය විශ්ලේෂණය කරලා නිගමන කීපෙකට ආවා. ඒ අනුව මට කෝච්චි තුන මග ඇරුණේ එකිනෙකට වෙනස් හේතු තුනක් නිසා. ඒ හේතු තුන තමයි:

1. ප්‍රමාදය - වෙලාවට 6ට ආවා නම් පළමුවෙනි කෝච්චිය මිස් වෙන්නේ නැත.
2. නොදැනුවත්කම - මේක ආපහු හරවගෙන යන කෝච්චිය බව දැන සිටියා නම් දෙවෙනි එක මග ඇරෙන්නේද නැත.
3. සැප ගැනීමට ආසාව - වාඩිවී ඒමේ ආසාව නොතිබුණා නම් තුන්වෙනි කෝච්චියේ එන්නට තිබුණි. 

මේ කරුණු තුන අපේ එදිනෙදා ජීවිතවලට අපි හිතනවට වඩා බලපානවා. ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න ගොඩකට හේතුව මේ තුන තමයි. මේ නිසයි මේ තුන් කට්ටුවට මාර දූවරු තුන්දෙනා කියල කිව්වෙ.

කොහොමද මගෙ විශ්ලේෂණය?

Monday, May 3, 2010

ඇක්ස්පීරියන්ස් දැන් පොඩ්ඩක් තියෙන්නේ


තුන්වෙනි කවිය නෙව මම මේ ලියන්නේ
ඇක්ස්පීරියන්ස් දැන් පොඩ්ඩක් තියෙන්නේ
ලියලම තමයි දැන් ප්‍රැක්ටිස් කරන්නේ
කවි ලිය ලියා ඉන්නටමයි හිතෙන්නේ

උබුන්ටුත් අළුත් වෙලුමක් ඇවිත් ඇත
කලින් තිබුණු අවුල් ගොඩක් මේකෙ නැත
ඕපන් සුසේ දාගන්නත් තිබෙයි හිත
අනේ මන්ද තීරණයක් අරං නැත

වැඩ ඇරිලා ඇවිදින් ඇඟ හෝදාම
විස්සෙන් විස්ස මැච් බලනව හැමදාම
ජයවර්ධනත් ගැහුවා සීයක් හේම
ඊළඟ මැච් එකෙත් දිය යුතු වෙයි ගේම

අදහස තිබේ පෝන් එකක් අරගන්න
නැතිවුණ ඇන් සෙවන්ටියටම හරියන්න
මිළ දැක්කහම පේනව නෙව තරු මෙන්න
වන් වන් ඩබල් සීරෝවත් යුතු ගන්න

මේ ඇති අදට ලිව්වා හොඳ රසැති කවී
දැන් නම් ලියවෙනව ටික ටික වැරදි නොවී
ඕනෑ නැහැ ඉතින් දැන් හොඳ ඉදුණු ලොවී
වැටි වැටි ලියමි කවි තව තව දියුණු වෙවී

Thursday, April 29, 2010

ඔන්න දෙවෙනි කවියත් ලිව්වා

ගත්තා පටන් ලියුමට පොඩි සරල කවී
දැන් නම් එකින් එක ලියවෙයි වැරදි වෙවී
වැරදුණෙ කවිය පහුගිය බොරුවටම නෙවී
කන්නට හිතයි මට හොඳ රතු ඉදුණු ලොවී

ලොවි කියලා දැම්මෙ එන්නයි රයිම් එක
චින්තිත් දානවනෙ ඔය වගෙ වචනෙ දෙක
රයිම් කරන්නට දත යුතු වචන නෙක
ඉගෙන ගන්න ඕන වචන එකින් එක

මේ දිනවල කොළඹට හරියට වැස්ස
කුඩයක් අරන් නොගියොත් වෙන්නේ කොස්ස
මං ඉන්නා ගෙදර වහලේ පිටිපස්ස
එක දෙක තුන හතර පහ එකසිය විස්ස

එනවා නිතර කවි සිතුවිලි දෝරෙ ගලා
මට දැනෙනවා යයි මගෙ හිත දිගට ගලා
ලියපන් කොල්ලො ලියපන් උඹ හොඳට කළා
කියලා කොමෙන්ට් එන තුරු මම ඉන්නෙ බලා

Wednesday, April 28, 2010

මගේ මුල්ම කවිය


බ්ලොග්වල ලියන කවි ගැන කතාබහ
යනවා මේ දවස්වල සංසදේ ගොඩක්
ඉතින් හිතුණා මටත් ලියන්නට
හොඳ කවියක්

කවි දාලා ගහනවාලු පොතක්
ඒ පොතට දාගන්නට ඕනැ කවියක්
ඒකට කවි ලියල ප්‍රැක්ටිස්
වෙන්න ඕන

මේ අන්තිමට ලියපු පද හතර නම්
හරියට රයිම් වෙන්නෙ නැහැ නේද
ගණන් ගන්නෙපා මුලදි කවුරුත්
ඔහොම තමයි

ලියන්ඩෝනැ අද ඉඳල කවි
කියවන්ඩෝනැ අනිත් අය ලියන කවිත්
දාගන්ඩෝනැ කවි ගැන කුප්පියකුත්
අද හෙටම

මේ රූපෙ ඉන්නෙ මං නෙවෙයි
ඒ ඉන්නෙ මොනවද ලියන වඳුරෙක්
හැබැයි අපි පැවත එන්නෙත් ඉතිං
වඳුරන්ගෙන්

මේ කවියෙ දොස් පරොස් ඇති
පද අරුත් වියරණ වැරදි ඇති
ඒ වගේ මොනව හරි දැක්කා නම්
සොරි වෙන්ඩෝෙන

එහෙනං අදට ලිව්ව ඇති
කවි වුණත් ඕනවට වඩා ඕනම නෑ
ආයෙත් හෙට විතර ලියනව තව
කවියක්

Sunday, April 25, 2010

තමීරගේ පරාජය ගැන ජනතාව දක්වන අදහස්


ඊයේ කවුරුත් නොහිතපු විදියට තමීර මැරතන් දුවන බව ලෝකය දැනගත්තා. කවුරුත් හිතුවෙ අයිස්ලන්තයෙ ගිනි කන්දෙ පිපිරීමටත් වඩා ලොකු කැළඹීමක් ලෝකෙ ඇතිවෙයි කියල. නමුත් මැරතන් එක අහවර වෙද්දි ඒ ලොවම මවිතයට පත්කරමින් තමීර අන්ත පරාජයක් ලබාගත්තා. ගුවන් ගමන් ප්‍රමාදවීමක් තියා සමනලයෙකුටවත් කිසිම හානියක් වෙලා නැහැ. කොටින්ම පෝස්ට් විස්සෙ කඩඉමවත් ඔහුට පහුකරන්න නොහැකි වීම කාගෙත් අවධානයට ලක්වෙලා තියෙනවා.

ඊයෙ දාපු පෝස්ට් එකේ තිබුණු විදියට ගොඩක් සුපිරි තරු තමීරට මැරතන් එකට සුබ පැතුවා. විශේෂ විමර්ශන කණ්ඩායමක් අද ඒ සුබ පැතූ අයගෙන් අළුත්ම තත්වය ගැන ප්‍රකාශ ලබාගන්න හැදුවත් ඒ කවුරුත් ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කරා.

අන්තිමට තීරණය වුණේ සාමාන්‍ය මහජනතාවගෙන් මේ පරාජය ගැන අදහස් ලබාගන්න. අපට හම්බවුණු කීප දෙනෙක් මේ ගැන දක්වපු අදහස් තමයි මේ තියෙන්නෙ:

විශ්ව විද්‍යාල සිසුවෙක්: ඕක බූරුවා. කෙහෙල්මල් බ්ලොග් ලියන්න යන්නෙ නැතුව පාඩමක් කරගෙන හිටිය නම් ඔය මොකුත් නෑ.

ත්‍රීවීල් රියදුරෙක්: මහත්තයො තමීරය එල කොල්ලා. පස්සෙ පස්සෙ ඔය කෙල්ලො පස්සෙ යන්න ගිහින් තමයි නම කැත කරගත්තෙ. දැන් ඉතින් මැරතන් එකත් පැරදිල. අපිත් එක්ක රස්ති පාරක් ගහගෙන හිටිය නම් ඕක දැනුත් යස අගේට ඉන්නවනෙ.

වයසක ආච්චි කෙනෙක්: අනේ, තමීර පුතා හරි හුරුබුහුටි කොලු පැටියා. ඕක කලිසමේ චූ කරගන්න කාලෙ ඉඳල මං දන්නවා. හැබැයි බැරි වැඩ කරන්න යන්න ගතිය පොඩි කාලෙ ඉඳල තිබුණා. සංසාරේ තමයි මහත්තයො.

ඒ ලෙවල් පන්ති යන නංගි කෙනෙක්: අනේ අපිට හරිම දුකයි තමීර අයියට වෙච්ච දේ ගැන. අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියෙ. අපේ පන්තියෙ ගර්ල්ස්ල ඔක්කොම අද අඬනවා.

විශ්‍රාමික ගුරු භවතෙක්: තාක්ෂණේ තමයි මහත්තයො අද කාලෙ කොල්ලොන්ව නැති කරන්නෙ. අන්තර්ජාලය කියයි, ඊ මේල් කියයි, මං නං ඕව පාවිච්චි කරන්නෙ නෑ. ඒත් මං හොඳටම දන්නවා ඔය පරිගණකයක් ඉස්සරහට ගිහිල්ල කොල්ලො කුරුට්ටො කරන්නෙ  ගෑණු ඇඳුම් නැතුව නටනව බල බල ඉන්න එක මිසක් අධ්‍යාපනේට මොකුත් නෙවෙයි කියල.

හාමුදුරු නමක්: බොහෝම පිංවත්, සිල්වත් තරුණ මහත්තයෙක් තමයි මේ තමීර කියන්නෙ. කවදාවත් කුරා කූඹියෙකුට වරදක් කරන්න තියා හිතන්නෙවත් නැති බව මං හොඳටෝම දන්නවා. ඒත් මහත්තයො පෙර පව් කියන දේ බුදු හාමුදුරුවන්ටත් මග අරින්න බැරි වුණානෙ.


කොහොම වුණත් අන්තිමේ දී එක සුපිරි තරුවක් පමණක් අපට ප්‍රකාශයක් ලබා දෙන්න එකඟවුණා. ඒ තමයි මෙවර ගාලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කරපු සුපිරි නිළි ගීතා කුමාරසිංහ.

ගීතා කුමාරසිංහ: තමීරට දිනන්න හොඳටම චාන්ස් එක තිබුණා. ඒත් තරගෙ අන්තිම හරියෙදි එයාට ගොඩක් හිරිහැර වෙලා තියෙනවා. චැට් රූම් එකේදිත් තර්ජනවලට ලක්වෙලා තියෙනවා. මට නම් හොඳටම විශ්වාසයි තමීරගේ සහෝදර බ්ලොග්කරුවන්ම තමයි මේකට වගකියන්න ඕන. මහාධිකරණයෙ නඩුවක් පවරන්න මම එයාට උපදෙස් දුන්නා.

ප.ලි. තමීරගේ මැරතන් බ්ලොගය දැක්කේ නැතිනම් මෙතනින් යන්න.

Saturday, April 24, 2010

අවවාදයයි, තමීරත් මැරතන් දුවයි




කවුරුත් බලාපොරොත්තු නොවුණු විදියට මෙදා සැරේ තමීරත් මිනි බ්ලොග් මැරතන් එක දුවනවා.

මැරතන් බ්ලොග් එකට මෙතනින් යන්න

මිනි මැරතන් ගැන වැඩිදුර දැනගන්න මෙතනට යන්න






මැරතන් එක ගැන ලොව පුරා විවිධ පැතිවලින් ලැබෙන ප්‍රතිචාර:

බැරැක් ඔබාමා: ඔව් මාත් මේ ගැන ඇහුවා, අපේ තමීරත් දුවනව කියලයි කියන්නෙ. කෝකටත් කියලා CIA, FBI ඔත්තු සේවා මේ වෙලාවෙ තමීරගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නෙ

විමල් වීරවංශ: මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්! තමීර වගේ දේශද්‍රෝහියෙකුට හිස ඔසවන්න දෙන්න බැහැ!

උපේක්ශා ස්වර්ණමාලි: මාත් අද තමයි අනේ මේක ගැන දැනගත්තෙ, අපේ තමීර මල්ලියත් ලියනවලුනෙ. මාත් එනවා බලන්න.

නාමල් රාජපක්ශ: ඔය තමීර කියන්නෙ අපේ නිල් බලකායෙ බලකණුවක්! තාරුණ්‍යයට හෙටක්, අපේ තාත්තට රටක්!

අනර්කලී ආකර්ශා: ඔව් අනේ, හරි ස්වීට් ඉවෙන්ට් එකක් කියලයි ආරංචිය, අපේ තමීර මෙයාත් ලියනවනෙ. මම ආරාධනා කරනවා අයියලා අක්කිලා නැන්දිලා මාමිලා කාටත් මේකට සහභාගි වෙන්න කියලා

මර්වින් සිල්වා: බුදු හාමුදුරුවො කියල තියෙනවා, සංසාරේ මාර තණ්හාය ජායතී සෝකෝ කියලා, ඒ කියන්නෙ සංසාරයත් මැරතන් එකක් වගෙයි කියන එකයි. තමීර පුතාට බුදු සරණයි!

චින්ති: ඕකා මටත් කතා හැදුවා, හදලා කඩප්පුලී කීවා, හරි නෑ, තමීර වාගෙ කටකාර එවුන් රටේ නැතුවා

කමල් අද්දරආරච්චි: ඔව්, අද මේ මැරතන් තරගයෙන් ජය ලැබෙන්නෙ තමීරට..... ද කියල අපි විරාමයෙන් පස්සෙ බලමු!

Sunday, April 4, 2010

Book light ආසාව සංසිඳීම

ළඟදි දවසක සූටික්කෙක් අපේ බෝඩිම ළඟ ගහක ඉඳගෙන කෑ ගහනව ඇහුණා "කෝ මේ තමීර, මොකද දැන් තමීරගෙ තීරයෙ වැඩිය ලියන්නෙ නැත්තෙ?" කියලා. එතකොට තමයි මතක් වුණේ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිවුණා කියලා. wink

ඉංග්‍රීසි බ්ලොග් එකේ දවසක් කියපු විදියට book light එකක් ගන්න ලොකු ආසාවක් අවුරුද්දක විතර ඉඳල හිතේ තිබුණා. ඒ ආසාව ඉටුවුණේ ගිය සතියෙ මගේ මුල්ම eBay ඕඩරේ ගෙදරටම ආවම. මේ තියෙන්නෙ පොටෝ එකක්:

booklight

Book light පාවිච්චි  කරන්නෙ අඳුරෙ ඉඳං පොත් කියවන්න, මේ පහළ රූපෙ තියෙන විදියට හයි කරල:


මේකට ගියේ ඩොලර් 1.47ක් විතරයි. තනි සුදු LED එකක් විතරයි තියෙන්නෙ. ඒත් ඒ එළිය පොත කියවන්න හොඳටම ඇති. ටැබ්ලට් බැටරි කෑලි 3කින් පවර් එක දෙන්නෙ. කියල තිබුණු විදියට නම් දවසකට පැය ගාණෙ දාල තිබුණොත් අවුරුද්දක් පාවිචිචි කරන්න පුළුවන් කියල. eBay එකේ ගිහින් බැලුවොත් booklight මාදිලි ගණනාවක් හොයාගන්න පුළුවන්. නින්ද යනකං ඇඳේ ඉඳං කියවන්න කියාපු ගැජට් එක.

එහෙනං අපි ගිහිං එන්නං! අප්‍රේල් පළවෙනිදා උපන්දින සමරපු අයට හැප්පි හැප්පි බර්ත්ඩේ! lol

Tuesday, March 16, 2010

තාමත් අපේ අය ෆයර්ෆොක්ස් පාවිච්චි කරන්නෙ ඇයි?

ෆයර්ෆොක්ස් කියන්නෙ දැනට භාවිතයෙ තියෙන අග්‍රගණ්‍යම වෙබ් බ්‍රව්සරයක්. මේකට තරම් ඇඩෝන ප්‍රමාණයක් දැනට කිසිම බ්‍රව්සරයකට නැහැ.
ඒත් ෆයර්ෆොක්ස් දරුණු විදියට මන්දගාමීයි. ටැබ් හත අටක් විවෘත කරගත්තු හැටියෙ බ්‍රව්සරය ස්ටක් වීමේ සම්භාවිතාව පුදුම විදියට වැඩිවෙනව. ඇඩෝන කීපෙකුත් දාල නම් තත්වය තවත් දරුණුයි.
නමුත් ගූගල් ක්‍රෝම්වල මේ ගැටලුව නැහැ. දැනට තියෙන වේගවත්ම බ්‍රව්සරය බවට අවිවාදයෙන් පිළිගැනෙනව වගේම මේකට තියෙන ඇඩෝන ප්‍රමාණයත් දවසෙන් දවස වැඩිවෙනව. ඒත් ක්‍රෝම් පාවිච්චි කරන පිරිස තාම අතළොස්සක්.
ක්‍රෝම්වල මුල් කාලෙ ගොඩක් ගැටලු තිබුණ. මූලික ප්‍රශ්නය වුණේ ඇඩෝන නොතිබීම. ලංකාවෙ අපට තිබුණු තවත් ගැටලුවක් තමයි සිංහල යුනිකෝඩ් ෆොන්ට් හරියට රෙන්ඩර් නොවීම. ඒත් මේ ගැටලු දෙකම දැන් ගොඩක් දුරට විසඳිලා. වයස මදිකම නිසා ඇඩෝන ප්‍රමාණය අතින් පිටිපස්සෙන් හිටියත් වේගය අතින් නම් කිසිම බ්‍රව්සරයකට දෙවැනි වෙන්නෙ නැහැ.
ක්‍රෝම්වල වේගයට ප්‍රධාන හේතුව තමයි multiprocessing කියන සංසිද්ධිය උපරිමෙන් ප්‍රයෝජනයට ගැනීම. ෆයර්ෆොක්ස් ගත්තම මුළු බ්‍රව්සරයම තනි process එකක් විදියටයි තියෙන්නෙ. නමුත් ක්‍රෝම්වල වෙන වෙන ටැබ්වලට තියෙන්නෙ වෙන වෙනම process. මේ නිසා එක ටැබ් එකක් ක්‍රෑෂ් වුණත් අනිත් ඒවට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඇඩෝනවලටත් වෙන වෙනම process තියෙනවා. මීට අමතරව ප්‍රධාන මතකය (RAM) භාවිතය අතිනුත් ක්‍රෝම්වලට හිමිවෙන්නෙ අංක එක.
මේ වගේ හේතු නිසා ක්‍රෝම් ඉන්නෙ අනිත් බ්‍රව්සරවලට ඉදිරියෙන්. සමහරක් වැඩවලට ෆයර්ෆොක්ස් ළඟින් තියාගෙන ඉන්න ඕන වෙනව. ඒත් ඒක ප්‍රධාන බ්‍රව්සරය විදියට පාවිච්චි කරන එක පරණ ලොරියක් එළවනව වගේ වැඩක්. තාමත් අපේ කට්ටිය ෆයර්ෆොක්ස්වලටම වෙලා ඉන්නෙ ඇයි කියන එක මට නම් ලොකු ප්‍රශ්නයක්.

Tuesday, February 23, 2010

දළුව කඩා මුල් බැඳගෙන පලයන්න


කිරින්ද කිව්වම ගොඩක් අයට මතක්වෙන්නෙ තිස්ස කිරින්ද. ඒත් දකුණු පළාතෙ තවත් කිරින්දක් තියෙනවා. මේ කිරින්ද අහුවෙන්නෙ මාතර ඉඳල හක්මණ පාරෙ කිලෝමීටර් 16ක් 17ක් විතර යනකොට. මම ඉපදුණු හෙට්ටියාවල ගම තියෙන්නෙ මේ කිරින්දෙ ඉඳල බෙලිඅත්ත පාරෙ කිලෝමීටර් හතරක් ගියපු තැන. අන්දරේ lol ඉපදුණයි කියන ගැටමාන්න තියෙන්නෙත් මේ කිරින්ද බෙලිඅත්ත පාරෙමයි.

මුල්ගිරිගල, එහෙමත් නැත්නම් මුල්කිරිගල, ගැන අහල නැති කෙනෙක් ඉන්න බෑ. මේක හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් පුරාණ ලෙන් විහාරයක්. සද්ධාතිස්ස රජ්ජුරුවො හැදෙව්වයි කියල තමයි කියන්නෙ. හක්මණ උමංගලින් පටන් ගන්න උමං මාර්ගයෙ අනෙක් කෙළවර තියෙනව කියන්නෙ මේ මුල්ගිරිගල. ඒත් දන්න තරමට මේ උමගට ගියපු කවුරුවත් ආයෙත් එළියට ඇවිල්ල නැහැ. rolleyes

අපේ ආච්චි අම්ම දවසක් අපිත් එක්ක මුල්ගිරිගල වඳින්න යනකොට බොහොම අගේ ඇති කවියක් කියල දුන්න. මෙන්න මේකයි ඒ කවිය:

---
කිරිඳි වැල කඩා සක උගුලා ගන්න
වේපත ඉරා දෙන සවි කර බැඳගන්න
මීය මරා කණුවට සිරකරගන්න
දළුව කඩා මුල් බැඳගෙන පලයන්න
---

තේරුමක් නැති කවියක් කියල එක සැ‍රේට හිතුණත් මේ කවියෙ වැදගත් තොරතුරක් ගැබ් වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නෙ කිරින්දෙ ඉඳල මුල්ගිරිගල වඳින්න යන පාරෙදි හමුවෙන මං සලකුණු.

කිරිඳිවැල = කිරින්ද
සක = හක්මණ
වේපත ඉරා = වේපතඉර
දෙන = දෙනගම
මීය = මීඇල්ල
කණුවට = කණුමුල්දෙනිය
දළුව = දළුවක්ගොඩ
මුල් = මුල්ගිරිගල

ඒ කාලෙ හිටපු අය නම් මේ කවිය හොඳට දැනගෙන හිටියලු. ඒත් අද කාලෙ කීයෙන් කීදෙනාද මේක දන්නෙ. එක අතකට ඒ කාලෙ මේ කවියෙන් තිබුණු ප්‍රයෝජනේ දැන් නැහැ. හැම තැනම අළුතෙන් පාරවල් හැදිල. ඒත් මේ වගේ දේවල් නැතිම වෙලා ගියොත් ඒක ඉතිහාසය මකල දැම්ම වගේ වැඩක්. මේ වගේ කවි තව ගොඩක් පළාත්වල ඇති. පුළුපුළුවන් ‍විදියට ඒව හොයාගෙන සංරක්ෂණය කරන එක අපි කාගෙත් යුතුකමක්.

කාටත් දැනගන්න කියල මෙන්න සිතියම. ගූගල් මැප්ස්වල හෙට්ටියාවල තිබුණෙ නෑ, ඒක අතින් දැම්මෙ wink