කිරින්ද කිව්වම ගොඩක් අයට මතක්වෙන්නෙ තිස්ස කිරින්ද. ඒත් දකුණු පළාතෙ තවත් කිරින්දක් තියෙනවා. මේ කිරින්ද අහුවෙන්නෙ මාතර ඉඳල හක්මණ පාරෙ කිලෝමීටර් 16ක් 17ක් විතර යනකොට. මම ඉපදුණු හෙට්ටියාවල ගම තියෙන්නෙ මේ කිරින්දෙ ඉඳල බෙලිඅත්ත පාරෙ කිලෝමීටර් හතරක් ගියපු තැන. අන්දරේ ඉපදුණයි කියන ගැටමාන්න තියෙන්නෙත් මේ කිරින්ද බෙලිඅත්ත පාරෙමයි.
මුල්ගිරිගල, එහෙමත් නැත්නම් මුල්කිරිගල, ගැන අහල නැති කෙනෙක් ඉන්න බෑ. මේක හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් පුරාණ ලෙන් විහාරයක්. සද්ධාතිස්ස රජ්ජුරුවො හැදෙව්වයි කියල තමයි කියන්නෙ. හක්මණ උමංගලින් පටන් ගන්න උමං මාර්ගයෙ අනෙක් කෙළවර තියෙනව කියන්නෙ මේ මුල්ගිරිගල. ඒත් දන්න තරමට මේ උමගට ගියපු කවුරුවත් ආයෙත් එළියට ඇවිල්ල නැහැ.
අපේ ආච්චි අම්ම දවසක් අපිත් එක්ක මුල්ගිරිගල වඳින්න යනකොට බොහොම අගේ ඇති කවියක් කියල දුන්න. මෙන්න මේකයි ඒ කවිය:
---
කිරිඳි වැල කඩා සක උගුලා ගන්න
වේපත ඉරා දෙන සවි කර බැඳගන්න
මීය මරා කණුවට සිරකරගන්න
දළුව කඩා මුල් බැඳගෙන පලයන්න
---
කිරිඳි වැල කඩා සක උගුලා ගන්න
වේපත ඉරා දෙන සවි කර බැඳගන්න
මීය මරා කණුවට සිරකරගන්න
දළුව කඩා මුල් බැඳගෙන පලයන්න
---
තේරුමක් නැති කවියක් කියල එක සැරේට හිතුණත් මේ කවියෙ වැදගත් තොරතුරක් ගැබ් වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නෙ කිරින්දෙ ඉඳල මුල්ගිරිගල වඳින්න යන පාරෙදි හමුවෙන මං සලකුණු.
කිරිඳිවැල = කිරින්ද
සක = හක්මණ
වේපත ඉරා = වේපතඉර
දෙන = දෙනගම
මීය = මීඇල්ල
කණුවට = කණුමුල්දෙනිය
දළුව = දළුවක්ගොඩ
මුල් = මුල්ගිරිගල
ඒ කාලෙ හිටපු අය නම් මේ කවිය හොඳට දැනගෙන හිටියලු. ඒත් අද කාලෙ කීයෙන් කීදෙනාද මේක දන්නෙ. එක අතකට ඒ කාලෙ මේ කවියෙන් තිබුණු ප්‍රයෝජනේ දැන් නැහැ. හැම තැනම අළුතෙන් පාරවල් හැදිල. ඒත් මේ වගේ දේවල් නැතිම වෙලා ගියොත් ඒක ඉතිහාසය මකල දැම්ම වගේ වැඩක්. මේ වගේ කවි තව ගොඩක් පළාත්වල ඇති. පුළුපුළුවන් විදියට ඒව හොයාගෙන සංරක්ෂණය කරන එක අපි කාගෙත් යුතුකමක්.
කාටත් දැනගන්න කියල මෙන්න සිතියම. ගූගල් මැප්ස්වල හෙට්ටියාවල තිබුණෙ නෑ, ඒක අතින් දැම්මෙ