ලිනක්ස් ටිකක් අතපත ගාල තියෙනම් (Ubuntu, Debian, Knoppix වගේ Debian-based ලිනක්ස් සංස්කරණ) apt-get කියන වචනෙ නුහුරු වෙන්න විදියක් නෑ.
උබුන්ටු ටර්මිනල් එකෙන් අළුත් මෘදුකාංගයක් ස්ථාපනය කරනකොට පාවිච්චි කරන්නෙ මේ sudo apt-get install කියන විධානයනෙ. නොදන්න අයට දැනගන්නත්, දන්න අයට මතක් වෙන්නත් මේ APT ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා.
APT කියන්නෙ Advanced Packaging Tool කියන එක. ඉස්සර මෘදුකාංගයක් ස්ථාපනය කරන්න ඕන වුණාම ඒකෙ ප්‍රභව කේතය (source code) බාගෙන ඒක කොම්පයිල් කරල අවශ්‍ය අමතර පැකේජ (dependencies) තියෙනම් ඒවත් බාගෙන ලොකු ගේමක් දෙන්න වුණා (ලු
). ඉතින් මේකට විසඳුමක් විදියට තමන්ට අවශ්‍ය පැකේජ ඉබේම හොයල දීල ඉබේම ස්ථාපනය කරල දෙන ක්‍රමයක් විදියට තමයි APT බිහිවෙලා තියෙන්නෙ. මේක වැඩ කරන්නෙ අර මුලින් කියපු වගේ Debian මත ගොඩනගපු ලිනක්ස් සංස්කරණවල විතරයි.
කතා ඇති, දැන් ටර්මිනල් එකක් එහෙම ඇරගෙන වැඩට බහිමු.
හිතමු අපිට ට්විටර් පාවිච්චි කරන්න අවශ්‍ය මෘදුකාංගයක් දාගන්න ඕන වුණා කියලා. මුලින්ම අපි apt-cache search මගින් හොයන්න ඕන ට්විටර් සම්බන්ධයෙන් දැනට තියෙන මෘදුකාංග මොනවද කියල, මෙන්න මෙහෙම:
$ apt-cache search twitter |
එතකොට ට්විටර් සම්බන්ධෙයන් තියෙන මෘදුකාංග එකක් නෙමෙයි කීපයක්ම පෙන්නනවා. (තව උදාහරණයක් විදියට video conversion tool එකක් ඕන නම් apt-cache search video converter වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්). දැන් මේවයින් මොකක් හරි එකක් ගැන විස්තර දැනගන්න ඕන නම් apt-cache show විධානය පාවිච්චි කරන්න, මෙන්න මේ විදියට:
මේ විදියට විධානය දුන්නම අවශ්‍ය පැකේජය (මේ උදාහරණෙදි නම් gwibber) ගැන වැඩිදුර විස්තර බලාගන්න පුළුවන්. විශේෂයෙන් බාගැනීමට අවශ්‍ය ගොනුවල ප්‍රමාණය එහෙම එතන කියල තියෙනවා.
දැන් මේ විදියට තෝරලා තමන්ට ස්ථාපනය කරන්න අවශ්‍ය වැඩසටහන හොයාගත්තට පස්සෙ apt-get install මගින් ස්ථාපනය කරගන්න පුළුවන්. හැබැයි මෙතනදි අපිට "විධායක බලතල" ඕන වෙනවා.
ඉතින් sudo කියල පටන්ගෙන තමයි විධානය දෙන්න වෙන්නෙ, මෙන්න මෙහෙම:
$ sudo apt-get install gwibber |
ඉස්සෙල්ලම අපෙන් admin password එක අහවි. ඒක දුන්නට පස්සෙ ඔය රූපෙ විදියට ඔය අනංමනං ගොඩක් පෙන්නුවට බය වෙන්න හොඳ නෑ. ඔය පෙන්නන්නෙ ස්ථාපනය කරන්න අවශ්‍ය අමතර පැකේජ, බාගත කළ යුතු ගොනුවල ප්‍රමාණය, ස්ථාපනය කරන්න හාඩ් ඩිස්ක් එකේ තියෙන්න ඕන ඉඩ වගේ දේවල්. Do you want to continue? කියල ඇහුවම Y ඔබන්න. දැන් අපි හොයල බලන්න ඕන නෑ, එයා (APT) තනියෙන් ඔක්කොම වැඩ ටික කරල දෙනවා.
apt-get වලින් මෘදුකාංග දාන්න වගේම අයින් කරන්නත් පුළුවන්. ඒකට පාවිච්චි කරන්නෙ apt-get remove විධානය. gwibber අයින් කරන්න ඕන නම් මෙහෙම ගහන්න:
$ sudo apt-get remove gwibber |
හැබැයි මේකෙන් ස්ථාපනය වෙච්ච ඔක්කොම ගොනු අයින් කරන්නෙ නැහැ. උදාහරණයක් විදියට වැඩසටහනේ වින්‍යාස දත්ත තිබුණු ගොනු ඉතුරු කරනව. ඒ ඔක්කොමත් එක්ක අයින් කරන්න ඕන නම් sudo apt-get remove --purge gwibber විදියට දෙන්න ඕන.
apt-get upgrade වලින් දැනට ස්ථාපනය කරල තියෙන ඔක්කොම මෘදුකාංග එකවර අප්ග්‍රේඩ් කරන්න පුළුවන්.
යන්න කලින් තව දෙයක් කියන්න ඕන. උබුන්ටුවල මේ වැඩ ටික Synaptic Manager කියන මෘදුකාංගය භාවිතා කරලත් කරගන්න පුළුවනි. මේකෙදි කරල තියෙන්නෙ apt විධානවලට රූපමය අතුරුමුහුණතක් දීපු එක. (Applications මෙනුවෙ Add/Remove... කියල තියෙන්නෙ මේකට තමා
) මීට අමතරව dpkg, tasksel, aptitude වගේ ක්‍රමත් තියෙනවා. පොඩ්ඩක් ගූගල් එකේ ගහල බැලුවොත් විස්තර හොයා ගන්න පුළුවන්. APT ගැනත් අර කියපු ක්‍රම ගැනත් හොඳ විස්තරයක්
මෙතන තියෙනවා.
ප.ලි.
මෙන්න මේක නෙට් එකේ තිබිල හොයාගත්තෙ. පේන්නෙ නැත්නම් රූපෙ උඩ ක්ලික් කරන්න. හිනා යන්නෙ නැත්නම් කිති කවා ගෙන හරි හිනා වෙන්න