Thursday, August 6, 2009

බොරු කියන්න ගිහින් වෙච්ච ඇබැද්දියක්...

මේක සිද්ධ වුණේ ජර්මනියෙ වැන්ගරූ (Wangerooge) කියන දූපතේදි. ඔලිම්පියාඩ් එකේ වැඩ ඉ‍වරවෙලා ලකුණුත් දුන්නට පස්සෙ එක විනෝද චාරිකාවක් තියෙනව ඔලිම්පියාඩයට ආපු කවුරුත් සහභාගී වෙන (අනිත් චාරිකාවලට සාමාන්‍යයෙන් යන්නෙ තරගකරුවන් විතරයි).

ඉතින් ඔන්න අපි කවුරුත් උදේ පාන්දරම ලෑස්ති වුණා. ජර්මනිය ලෝක සිති‍යමේ තියෙන තැන මතක අය දන්නව ඇති ජර්මනියට අයත් මුහුදු තීරය තියෙන්නෙ උතුරට වෙන්න කියල. අපි හිටිය බ්‍රේමන් තිබුණෙ මීට කිලෝමීටර් 130ක් විතර යටින්. ඉතින් ගමනෙ මුල් කොටස බස් එකේ තමයි ගියේ. මේ පැත්ත එච්චර නාගරික නෑ. පොඩි පොඩි ගම්මාන පහුකරගෙන යන්න තියෙන්නෙ.

දැන් ඉතින් වෙරළෙ ඉඳල දූපතට යන්න ඕන මගී බෝට්ටුවකින්(ferry). ඒ ගමනටත් පැය දෙකකට කිට්ටුවෙන්න ගතවෙනව. බෝට්ටුවෙදි හම්බවුණු ට්‍රිනිඩෑඩ් කණ්ඩායමත් එක්ක කාඩ් අතක් ගගහ ගිය නිසා වෙලාව යනව දැනුනෙ නැහැ.
ඔන්න දැන් අපි දූපතට ආව. මෙතන ඉඳල අපිව එක්ක ගියේ පුංචි කෝච්චියකින්.

වැන්ගරූ සංචාරක දිවයිනක්. ගොඩක් සංචාරකයො එන්නෙ මෙහෙ තියෙන මූදු වෙරළට. මෙහෙ වෙරළෙ ලංකාවෙ වගේ රන්වන් වැල්ලක් නැහැ. මඩ පාට වැල්ලක් තියෙන්නෙ. අනික වෙරළක් වුණාට ඉර අව්ව වැටෙන්නෙත් නැහැ. පුදුම හීතලයි. ලංකාවට ඇවිල්ල අව්ව තපින ජර්මන් සංචාරකයන්ට ලංකාවෙ අගේ හොඳට තේරෙනව ඇති.

ලං‍කාවෙන් ගියපු අපිට වැල්ල පාගන එක අළුත් දෙයක් නෙවෙයිනෙ. ඉතින් කස්ටිය කතා කරගෙන ගියා කඩ මණ්ඩිය පැත්තට. මං කියන්න ආපු කතාව ඇත්තටම සිද්ධ වුණේ එතනදි.

අනිත් අය සුවනියර් හොය හොය ඉද්දි මටයි ගම්ලත්ටයි ඕන වුණා ටී ෂර්ට් ගන්න. එනකොට තාත්තට මොනව හරි ගෙනාවෙ නැත්නම් ලොකු අඩුපාඩුවක්නෙ. ඉතින් අපි දෙන්නා වටපිට බලද්දි මෙන්න තියෙනවා ඇඳුම් කඩයක්. දෙන්නම කඩේට ගොඩ වුණා.


ටී ෂර්ට් හොය හොය ගියාට අපිට ඕන විදියෙ ඒව නැහැ වගේ. හරිම අමුතු ඇඳුම් තියෙන්නෙ. ගෑණුන්ගෙ ඇඳුම් වගේ...

ගෑණුන්ගෙ??? එක සැරේටම ගම්ලත්ට තමයි මීටර් වුණෙ මේක මේ ගෑණු ඇඳුම් කඩයක් කියල. මාර නෝන්ඩිය. අපි දෙන්න කවුරුවත් දැක්කෙ නැතෙයි කියල හිතල හෙමිහිට මාරු වෙන්න හදන කොටම ඉස්සරහට ආවනෙ කඩේ අයිතිකාරි! ගෑණිටත් අපිට වෙච්ච වැඩේ ‍තේරිලා වගේ හිනා ගියා. හිනා වෙන ගමන්ම ගත් කටටම ඇහුවෙ නැතෑ "මොකද ladiesල හොයා ගෙනද ආවෙ?" කියල. මාර සීන් එක. ඉතින් අපිත් මොනව කියන්නද කට වහගෙන හිටියා.

අපි හිතුවෙ වැඩේ ඉවරයි කියල. ඒත් ගෑණිත් අතෑරියෙ නෑ. අපෙන් ඇහුව මොන රටෙන්ද ආවෙ කියල. අපිත් එළියට යන ගමන්ම කිව්වා "ඉන්දියාවෙන්" කියල. කිව්වා නෙවෙයි කියවුණා. දැන් මෙයා අපේ පස්සෙන්මයි. ඒ පා‍ර "ඉන්දියාවෙ මොන ටවුන් එකෙන්ද" කියල ඇහුවා. ඒ වෙලාවෙ මොන හේතුවක් හින්ද මගේ කටෙන් "හයිද්‍රබාද්" කියල කියවුණාද කියල තාමත් හිතා ගන්න බෑ. ඊළඟ ප්‍රශ්නය: ඉන්දියාවෙ මොන කොනේද හයිද්‍රබාද් තියෙන්නෙ? බොරුවක් කියන්න කට ගන්න කොටම මේ ගෑණි කියාපි තමනුත් ඉන්දියාවෙ අවුරුදු දෙකක් හිටියයි කියල. මළ කෙළියයි. දැන් බොරුවක් කියන්නත් බෑ.

"හයිද්‍රබාද්වල ඉපදුණාට අපි දිල්ලියෙ ඉන්නෙ"
"මමත් දිල්ලියෙ තමයි හිටියෙ. දිල්ලියෙ කොයි හරියෙද?"
"ටවුන් එකේම නෙවෙයි. ටිකක් එහාට වෙන්න"
"දිල්ලියෙ අර අහවල් නම තියෙන ෆැමිලි එක අඳුරනවද?" මොකක්ද පවුලක නමකුත් කිව්වා දැන් මතක නෑ.
"නම නම් අහල තියෙනවා. හරියටම කවුද කියන්න දන්නෙ නෑ"
"දැන නොගන්න විදියක් නෑ. අර අහවල් ෆැක්ටරිය අයිති ඒ ගොල්ලන්ටනෙ!"

මදැයි. එක බොරුවක් කිව්වම බොරු සීයක් කියන්න වෙනව කියන්නෙ ඕක තමයි. කොහොම හරි අපිට ලේසියෙන් ගැලවෙන්න හම්බ වුණේ නැහැ. අපිව gents wear shop එකකටත් එක්ක ගිහිල්ල ටී ෂර්ට් තියෙන තැනත් පෙන්නල ඒ කඩේ අයිතිකාරයටත් ජර්මන්වලින් මොනවදෝ කිව්වා. නියම රැග් එක! අපි දෙන්නත් ගෑණි අහක බලාගන්නකන් ඉඳල හෙමිහිට ෂේප් වුණා. එදා දවසෙ ආයිත් ඒ කඩේ පැත්ත පළාතෙ ගියෙ නැහැ.

මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. නොදන්නා කඩේකට යන්න කලින් ටිකක් එළියෙන් විපරම් කරල බලල ඇතුල් වෙන්න. එක බොරුවක් කිව්වොත් ඒක වහගන්න තව බොරු සීයක්වත් කියන්න වෙන බව හොඳට මතක ති‍යාගන්න. ‍බොරුවක් කියනකොට වුණත් කටට එන එන දේ කියන්න එපා. හොඳට හිතල බලල කියන්න. අනුන් පාවල දෙන්න ගියාම වෙන්නෙ තමන්ම වලේ වැටෙන එක. මේව අපි කාටත් හොඳ පාඩම්.

මෙම ලිපියට ප්‍රතිචාර 12 කි:

Supun Budhajeewa said...

හික්ස්.. මාර සීන් එක !

අපිට මොනවත් ගෙනාවෙ නැද්ද ආහ් ? :-P

තමීර said...

@සුපුන් මොනව ගේන්නද, ටීෂර්ට් එකක්වත් ගත්තෙ නෑ. බුදු ගණන්!

පොතේ ගුරා said...

හික් හික්..

Gayan Kalhara said...

ඛ්‍රෙමෙන් වල පල්ලිය පාරෙ (හරියට පාරෙ නම නම් දැං මතක නෑ), කලු ජාතිකයෙක් කරන ඇදුං කඩයක් තිබ්බ (නම අහන්න එපා, දිව උලුක් වෙනව), කොහොමද දන්නෙ නැති උනත් සෑහෙන්න අඩුවට ඇදුං එහෙම තිබ්බ.

අහන්න එපැයි යන්න කලිං :D

සිරා වැඩේ, සිංහලෙං කූණුහබ්බ දෙක තුනක් කියල මාරුවෙන්නෙ නැතුව කථාකරන්න ගියාට. ඕවැයි බඩුගන්න ලැජ්ජාවෙලා බෑ.

අපි දෙන්නත් ගෑණි අහක බලාගන්නකන් ඉඳල හෙමිහිට ෂේප් වුණා.

අපරාදෙ, ටිකක් ටෝක දැම්ම නම් ඩිස්කවුන්ට් හිටං ගන්න තිබ්බ, සමහර ජර්මන් කාරයො ආසියාව (විසේසයෙන් ඉන්දියා) කිව්වාම පණ දෙන්නෙ :-)

තමීර said...

@ගයාන් කල්හාර ෂැහ්, ඕක කලින් කියන්න එපැයි! කවුද දන්නෙ! :D

lmpeiris said...

ඒකි උඹේ පස්සෙන් එන්න ඇත්තෙ ඉන්දියන් කියල හිතපු නිසාම තමා... පාකිස්ථානි කිව්ව් නම් ලිස්සන්න තිබ්බා....

----"මොකද ladiesල හොයා ගෙනද ආවෙ?" කියල.----

මෙතන අහපු දේ උඹලට තේරිලා නෑනෙ... අපරාදෙ ....
ලන්කාවෙ බඩු ගතියක් නෑනෙ...

තමීර said...

@Impeiris මොනව කරන්නද. කට හින්දනෙ මාළුවත් මැරුම් කන්නෙ!
හෆොයි! ඒ වගේ දේකට නෙවෙයි ඇහුවෙ කියල නම් සුවර්! ඒත් පොඩ්ඩක් කයියට සෙට් වුණා නම් බැරි වෙන්නෙත් නෑ :D

KaniRockz said...

මරැ සිද්දිය... අපරාදේ ටිකක් ටෝක් කරල මෙනා හරි අරන් එන්න තිබුන.

තමීර said...

@KaniRockz මොනව කරන්නද, අපේ මෝඩකමට බේත් නැහැනෙ

nimanthi said...

ඔයාලගේ කණ්ඩායමේ කෙනෙක් අහම්බෙන් හරි හමුවීම ගැන සතුටුයි..ඉස්සෙල්ලම මම සුභ පතන්නම්කෝ දිනා ගත්ත පදක්කම් වලට.
දැන් වෙන දෙයක් ..මම හරිම කනගාටුවට පත් උනා කණ්ඩායමේ සාමාජිකයින් රෝගාතුරව ඔයාලට විදින්න උන කරදරය පත්තරෙන් කියවලා.ඒත් මට මෙහෙ ඉදන් ගණිත ඔලිම්පියාඩයට කතාකරන්න හැකියාවක් තිබුනේ නැහැ.ඒ නිසා මේ බ්ලොග් එක දැක්කාම මම බොහොම සතුටට පත් උනා.
හරි, මේ කාරණා ලංකාවෙ ගණිත ඔලිම්පියාඩයට දන්වන්න.ඕනෑම තරගයකට ලංකාවෙන් පිටවෙලා යද්දි මින් පස්සේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසා දැනගන්න තරග සඳහා ඔබ යන රටේ අපේ තානාපති කාර්යාලයක් තියනවද??කියලා.[ඒ යන රටේ අපේ තානාපති කාර්යාලයක් නොතිබුනත් ඒ රට ආවරනය කරන තානාපති කාර්යාලයක් නම් අනිවාර්යයෙන්ම තියනවා] ඉන් පස්සේ අදාල තානාපති කර්යාලයේ නිලධාරියෙක්ව ඔබට සම්බන්ධ කරගත හැකිවේවි.ඔබ තරගය අවසන්ව අදාල රටින් පිටව යනකන්ම් ඔබට අදාල පහසුකම් සලසන්න ඔවුන් වගකීමකින් බැඳිල ඉන්නවා.නමුත් මේ විදියට නොදන්වා පැමිණීම තුල ඔබ මුහුන දෙන අවදානම දැන් ඔබ සියල්ලන්ටම හොදින්ම තේරෙනවා නේද..?ඔබ ජර්මනියේ රැදී සිටින බව තානාපති කාර්යාලය දැනසිටියේ නැහැ.'රිවිර' හෝ 'ලක්බිම' පුවත්පතේ ඔබේ කණ්ඩායමේ සාමාජිකයෙක් පලකල විස්තරය මම නොදුටුවානම් ඔවුන් ඔබ ඇවිත් ගිය බවවත් දන්නේ නැහැ.ඔබ එන්නේ අපේ රට නියෝජනය කරන්න.ඒ ගමන මොකටද මෙහෙම ඇවිත් නිකන් දුක් විදලා යන්නේ.
තවත් විස්තර අවැසි වූ විටක, මගේ බ්ලොග් අඩවියේ [ප්‍රතිචාරයක් ලෙස] ඔබේ e mail ලිපිනය පල කරන්න.මට හැකි වේවි ඔබට උදව්වක් කරන්න.

තමීර | Thameera said...

@nimanthi
ප්‍රතිචාරයට ස්තුතියි! ඔබ ඉන්නෙ ජර්මනියෙද?

ගණිත ඔලිම්පියාඩයට මෙතෙක් කිසිම රජයේ සහයක් තිබුණෙ නැහැ. (ඒ ගැන දොස් කියනවා නොවේ) සියලුම කටයුතු සිදුවෙන්නෙ ඔලිම්පියාඩ් පදනමේ ස්වේච්ඡාවෙන් වැඩ කරන කීපදෙනෙක් අතින්. වීසා, රක්ෂණ ලබාගන්නෙත් බොහොම අමාරුවෙන් (2008දි වීසා දෙන්නෙ නැතුව අපට ලොකු අසාධාරණයකුත් වුණා). ටිකට්වලට යන වියදම හොයාගන්න එකත් ලොකු ගැටලුවක්. ඒ අතරෙ කණ්ඩායම පුහුණුකිරීම්. මේ හැමදේම කරන්න වෙලා තියෙන්නෙ කීප දෙනෙකුට. මේ නිසා ඔබ කිව්ව වගේ දේවල් ගැන හොයලබැලීම අතපසුවෙනවා.

කොහොමවුණත් මේ ගැන මතක් කරදීම ගැන ස්තුතියි. මගේ විද්‍යුත් ලිපිනය thameera123[at]gmail[dot]com. ඔබේ බ්ලොගෙත් ප්‍රතිචාරයක් දාන්නම්.

Laksrini Akshila Anurangi said...

ගම්ලත් අය්යා ගියොත් ඔහොම වැඩක්මයි වෙන්නෙ....

අදහස් ලියලම යන්න